කාර්යාලයට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (7) ඉල්ලීමක් කළහ.

"ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට "ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීම කළහ.

මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි පැවැසීය.

කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට රජය ප්‍රමුඛතාව දී ඇති බවත් 2021 අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදි කීය. විදෙස් ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති ව්‍යාපෘති 800කට අධික සංඛ්‍යාවක වැඩ නිමවී නැති බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සියලු ව්‍යාපෘති කඩිනමින් නිම කොට ජනතා අපේක්ෂා ඉටු කිරීමට කැපවිය යුතු බව ද කීය.

සියයට 75ක් වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා ගොවි ජනතාව පාරම්පරිකව මුහුණ දී ඇති ගැටලු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බව ද කීවේය.

අස්වැන්නට ඉහළ මිලක්, තාක්ෂණික දැනුම, ජල කළමනාකරණය, දේශීය බීජ නිෂ්පාදනය, වෙළෙඳ පොළ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම, කාබනික කෘෂි නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම වැනි ක්‍රමවලින් ප්‍රශ්නය විසදා ගැනීමට නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු බව ද රාජපක්ෂ මහතා මෙහිදි අවධාරණය කළේය.

ග්‍රාමීය ගැටලු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් බැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස්, ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පෙන්වාදුන්නේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු, ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන්, ගණකාධිකාරීවරුන් යනාදී රාජ්‍ය නිලධාරීන් සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

055