
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා වසංගතය මධ්‍යයේ ඉකුත් වසරේ මීරිගම තරුණ යුවළකට දාව කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු සිවු නිවුන් දරුවෝ ඉකුත් දා සිය ජීවන ගමනේ පළමුවන ජන්ම දිනය සැමරූහ.
මීරිගම ලින්දර ආර්.එම්.පී. තිළිණි සුබසිංහ (28) හා මීරිගම කැප්පිටිවලානේ තරිදු කසුන් ලක්රුවන් (29) යන දෙමාපිය යුවලට දාව උපන් යෙතුල මෙත්මුතු, මෙතුල ලක්මුතු, යෙනුල්යා දම්සුවි, තෙනුල්යා දම්සකි යන පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනා පසුගිය 22 වැනිදා සිය පළමු ජන්ම දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ කැප්පිටිවලාන නිවසේදී සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.
මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳ එම සිවු නිවුන් දරුවන්ට ආශීර්වාද කළහ.
දරුවන්ගේ මව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන අතර පියා පෞද්ගලික ආයතනයක තාවකාලික රැකියාවක නිරතව සිටි.
ඔවුන් විවාහ වී දෙවසරකින් මෙම දරු සුරතල් බලන වරම් ලැබීය.
ඉකුත් වසරේ ජූලි මස 22 වැනි දා කොළඹ ද සොයිසා රෝහලේ දී තිළිණි පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනෙකු මෙලොවට බිහි කළේ පුරා මාසයක් තිස්සේ රෝහල් ගතව සිටීමෙන් අනතුරු වය.
දරුවන් ලැබීමෙන් පසුව ද වෛද්‍ය උපදෙස් මත දරුවන්ගේ මූලික ප්‍රතිකාර සඳහා තවත් මාසයක් ඇයට රෝහලේ ගත කරන්නට සිදුවිය.
මේ වන විට දරුවන් සිවු දෙනකු බලා ගැනීමේ භාරදූර කටයුත්තකට ද ඇය සහ සැමියා මුහුණ දී සිටී. කුමන දුක් කරදර ඇතත් දරුවන් අඩුපාඩුවකින් තොරව ලොකු මහත් කිරීමට තමා සහ සැමියා දෙමවුපියන්ගේ සහය ඇතිව කැපවී සිටින බව ඇය කීවාය.
තමන්ගේ සැමියාට රජයේ ස්ථිර රැකියාවක අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ තම දරුවන් වෙනුවෙන් කරනා මහඟු උපකාරයක් වනු ඇති බව ඇය සඳහන් කරයි.






COMMENTS
මේ දෙමව්පියන්ට හෝ වාර්තාකාර මහතාට සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් ඇතිනම් කරුණාකර ලබාදෙන්න...
රත්තරං දූ පුතුන්ගේ මුල් ඡායාරූපය දැකීමෙන් සිතට ඇතිවූයේ පුදුම සැහැල්ලුවකි. දෙමාපියන් ඇතුළු දරුපැටවුන්ට කරදරවලින් තොරව හොඳින් ජීවත්වීමට හැකිවේවා...!!!
" පිණැති සිව් නිවුන් දරුවන් දකින විට.. නෙත සිත පිබිද සතුටකි දැනුනේ මට.. සුරතල් මුහුණ කට නිරතුරු දකින විට .. කිරි ඉතිරේවි නිරතුරු අප ලක්බිමට.. "
නෙත සිත පිබිදී, ඔබට දැනුන සතුට අපි "සියලු" දෙනාමත් ඔයත් එක්ක බෙදා හදා ගන්නවා හොඳේ. මේ වාගේ ආයිත් ලස්සන කවි ලියන්න සමිත.. විජිත් සහ මා ඔයාගේ හොඳ රසිකයන්...
ස්තූතියි පූජා ඔයාට... ඔයත්, විජිත් හා මාගේ රසිකයන් මා අගය කරන විටදී තවත් නිර්මාණ බිහිවීමට සිත උනන්දු වේවි...
සුන්දර පැටව් දුටුවිට මගේ හද තුළට... දැනුණා සතුට අමතක වී සියලු වැඩ... දරු සම්පත විතරයි මෙලොව ඇති... වටිනාම වස්තුව මිනිසුන් වන අප සැමට...
තෙරුවන් සරණයි පුංචි මල් කැකුලු වලට...
ඔව් ඇත්තමයි පූජා.., සමිත පෙර ආත්මයක සිට අරගෙන ආව දක්ෂකමක් මේ කවිකම... මේ චූටි පුතාලා දෙන්නටත්, චූටි දුවලා දෙන්නටත් ජීවිතයේ සතුට, සැනසුම මෙන්ම නිරෝගී බවත් සැමදාම ලැබී, හොඳින් ඉගෙනගෙන, මේ ලෝකය ගැන හොඳින් අවබෝධ කරගෙන, අනාගතයේ දවසක රටට වැඩදායක යහපත් පුරවැසියන් වේවා කියලා හද පිරි සතුටින් ප්‍රාර්ථනා කරනවා. කරුණාරත්න අබේසේකර මහත්මයා ලියපු, සුජාතා අත්තනායක මහත්මිය ගැයූ ලස්සන ගීතයක පද පෙළක් මට මතක් වුණා. "...හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී.."...
තෙරුවන් සරණයි...!!!
එම දරුවන් යහමගට යොමු කිරීමට දෙමාපියන්ට හොඳ ශක්තියක් තිබිය යුතුයි, ලස්සන දරුවන් සිවු දෙනෙක් රැකගැනීමට එම පියාට රජයේ රැකියාවක් ලබා ගැනීමට මේ දේශයේ බලධාරීන්ගේ අවධානය යොමුවේවා... ඔන්න කරනවා නම් පිං වැඩ...