(තිළිණි ද සිල්වා)

කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන වන්නේ යැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි.

ඇය මේවන විට ඉතාලියේ බ්‍රේෂා නගරයේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන්ම එරට බලධාරීන් සොයා බලන්නේ යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලේකම් සිසිර සෙනවිරත්න මහතා කියා සිටී.

කොරෝනා ආසාදනය වූ කාන්තාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත සිදු කෙරමින් පවතින බවත් , ඇයගේ  තත්ත්වය බරපතල නොවන බවත් ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය දැනුම් දුන් බවද හෙතෙම කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිසිර සෙනවිරත්න මහතා මෙසේද කීය.

     ‘‘ඇයගේ තත්ත්වය 04 වැනිදා වනවිට පැවති තත්ත්වයටත් වඩා සුව අතට පැවතියා.ඇයට අවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් අදාළ රෝහල සම්පාදනය කර තිබෙනවා.අපිට 02 වැනිදා තමයි ඇය ගැන දැනගන්නට ලැබුණේ.ඒ තොරතුරු දැනගන්නට ලැබීමත් සමඟම අදාළ රෝහල සමඟ ඇය පිළිබඳ තානාපති කාර්යාලය සාකච්ඡා කළා.

ඇයට වෙනම කාමරයක් ලබා දීමට මේ වන විට කටයුතු කරලා.රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කරන ආකාරයට ඇයගේ තත්ත්වය ස්ථාවරයි.ඇය ආහාර ලබා දුන්නේ නැහැ කියලා ඇතැම් වාර්තා පළ වෙලා තිබුණා.අපි ඒ ගැන විමසීම් කළා.රෝහලින් අපිට පැවසූයේ ඇයට සිදු කළ පරීක්ෂණ කිහිපයක් නිසා ආහාර ලබා දීමක් සිදු නොකළ බවයි.

පරීක්ෂණ වලින් අනතුරුව ඇයට ආහාර ලබා දීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.ඒ වගේම ඇයට අවශ්‍ය අනෙක් පහසුකම් සියල්ලක්ම අඩුවක් නැතිවම ඉතාලි සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනවා ’’ යැයිද පැවසීය.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියෙ බ්‍රේෂා ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් යැයි ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්  කාර්යාලය සඳහන් කරයි. ඇය 46 හැවිරිදි වියේ පසුවන්නියක වන  ඇය හොරණ ප‍්‍රදේශයේ පදිංචිකාරියක වේ.

එම කාන්තාව වසර 10 ක පමණ කාලයක සිට සිය සැමියාත් සමඟ එරට පදිංචිව සිටින අතර ඉතාලියේ බ්‍රේෂා ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වයෝවෘද්ධ ඉතාලි ජාතික කාන්තාවක රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියට වන අතර එරට එම වෛරස් ආසාදිතයින් ගණන 3000 ක් ඉක්මා ඇත.පුද්ගලයින් 107 එම වෛරසය ආසාදන වීමෙන් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.