(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මහ කන්නයේදී වී වගා හෙක්ටයාර ලක්‍ෂ 5කට අවශ්‍ය කාබනික පොහොර රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන්ට බෙදාදීමටත්, අනෙකුත් බෝග හෙක්ටයාර ලක්‍ෂ 6කට මෙන්ම ආහාර නොවන විසිතුරු පැලෑටි, කැපුම් මල් වගාව හා නිර්පාංශු වගාවට අවශ්‍ය කාබනික පොහොර අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශ අනුව ආනයනය කර බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ ගොවීන්ට බෙදාදීමටත් මෙහිදී අනුමැතිය හිමිව තිබේ.

මීට අමතරව මහ කන්නයේදී හෙක්ටයාර 2,24,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීය නිෂ්පාදකයින් හරහා සපයා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ආනයනය කරනු ලබන පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පර්යේෂණ ආයතන තුනක් හරහා සොයා බැලෙන බවය. සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වී ඇති රසායනික පොහොර ආනයනය තහනම් කර කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම තීරණ ගත් බව ද ඇමතිවරයා කීවේය.