
(විනීතා එම් ගමගේ)
මහනුවර ආසන්නයේ පිහිටා ඇති ජලාශ සියල්ලට භූ කම්පනමාන සවිකර ඒවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ඇති ජාතික දත්ත මධ්‍යස්ථානයට සම්බන්ධ කළ යුතු යැයි මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගියදා සිදුවූ භූකම්පනවලට හේතු සොයා බැලීම සදහා පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.
එමෙන්ම එම ප්‍රදේශයන්හි සවිස්තරාත්මක, භූ විද්‍යාත්මක හා ව්‍යුහාත්මක සිතියම් ඉක්මණින් සම්පාදනය කළ යුතු බවත් ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් බල ගැන්විය යුුතු බවටත් එකී කමිටුව සිය වාර්තාව නිකුත් කරමින් යෝජනා කර තිබේ.
මෙම කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (24) භාර දෙනු ලැබීය.
මහනුවර ආසන්නයේ පිහිටි අලුත්වත්ත, දඹකොටේ, හාරගම හා අනුරගම යන ගම්මානවල ඉකුත් 18 වැනිදා සිදුවූ භූ කම්පනය පිළිබද සොයා බැලීමට මෙම කමිටුව පත් කළ අතර එහි සාමාජිකයන් වූයේ භූ විද්‍යාඥ මහසෙන් වික්‍රමසිංහ සහ භූ කම්පන විද්‍යාඥ ජයනාත් හේරත් සහ භූ මාපක විද්‍යාඥ නිල්මිණි තල්දෙන යන විද්වතුන්ගෙන් සමන්විතය.
එම කමිටුව තවදුරටත් නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම ප්‍රදේශයේ හුණුගල් බහුල බව සැබෑ නමුත් කමපන වලට හේතුව එයම යැයි කිව හැක්කේ ඒ පිළබද සිදුකරන පුළුල් අධ්‍යයනයකින් පසුව යැයි ද පෙන්වා දී තිබේ.
මෙකී භූ කම්පන ඇතිවූයේ පොළව තලයේ කොතරම් ගැඹුරකින් ද යන්න සොයා බැලීම සදහා අවශ්‍ය නම් විදේශ විශෙෂඥ සහය ලබා ගැනීමට ද යෝජනා කර ඇති අතර මෙම ප්‍රදේශයන්හි සිදුවන භූ කම්පන හා වෙනස් කම් පිළිබද සටහන් තැබීමේ ස්වේච්ඡා කණ්ඩායම් පුහුණු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ. විශේෂයෙන් ඒ සදහා පාසල් සිසුන් හා උනන්දුවක් දක්වන පිරිස් යොදා ගැනීමේ හැකියාව ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
මෙම වාර්තාව භාර ගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී මීට වඩා ප්‍රබලභූ කම්පන පවා ඇතිවිය හැකි බැවින් ජලාශවල ආරක්ෂාවට ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගතයුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් මේවට "විදේශ" විශේෂඥ සහාය ලබා ගත යුත්තේ? අපේ විශ්ව විද්‍යාලවල සිටින පඬිවරුන්ට මෙය කළ නොහැකිද?