(ඩයනා උදයංගනී)

කුඩා විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෙට් 440ක ධාරිතාවයක් එක්කිරීමට සැලසුම් කර ඇතැයි සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙගාවොට් 10 හා ඊට අඩු විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් මෙන්ම උත්පාදිත විදුලිය මිලදී ගැනීමට සම්මත අය ක්‍රමයක් ඇති කිරීමට, ප්‍රමුඛතාව මත මධ්‍යම ජාලයට විදුලිය ලබාදීමටත් අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රය ආරම්භයේ සිට මේ දක්වා ඉන්ධන මත රදා පැවතීම හේතුවෙන් මේ වන විට විදුලි බල අර්බුදයක් දක්වා වර්ධනය වී ඇතැයි කී දුමින්ද දිසානායක මහතා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත ගමන්කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇතැයි ද කීවේය.