
(මනෝප්‍රිය ගුණසේකර)
මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කනගාටුදායක තත්වයක් යැයි කුඩු ග්‍රෑම් 198 ක් ළඟ තබාගෙන සිටියදී කොළඹ පුරහල ප්‍රදේශයේ දී අල්ලා ගත් ජාවාරම්කරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) පැවසීය.
පැමිණිල්ලේ සාක්කි පරස්පරවීම හා වැටලීම කළ නිලධාරීන්ගේ සටහන්වල ඇති දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කර ඔහු නිදහස් කරමින් විනිසුරුවරයා එලෙස සඳහන් කළේය.
චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ එම්.ධනසිරි නමැත්තෙකි.
2012 සැප්තැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පුරහල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 198.19 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කොළඹ පුරහල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී මෙම විත්තිකරු හෙරොයින් තොගයක් ද සමඟ අල්ලා ගත් බව හෙළි විය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්න වලදී වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සාක්කි පරස්පර බව මෙන්ම මෙම වැටලීම සම්බන්ධයෙන් ඔවුන් තබන ලද සටහන්වල දුර්වලතාවයන් ඇති බවද හෙළි විය.
මෙවැනි විශාල හෙරොයින් තොගයක් පොලිස් නිලධාරීන් විත්තිකරුට හඳුන්වා දුන් බව සිතීමට හැකියාවක් නොමැති වුවත් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීන්දු කළ විනිසුරුවරයා සියලු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
COMMENTS
2012 කරපු වැටලීමක් ගැන ඊට අවුරුදු 8කට පස්සේ 2020 දී හරස් ප්‍රශ්න අහන කොට පරස්පර ඇති වෙන්න පුළුවන් තමයි.
චම්පා කමෙන්ට් කරලා තියෙන්නේ කිසිම තේරුමක් නොමැතිව. අධිකරණයේදී වැටලීම් කරපු අය සාක්ෂි දෙන්නේ ඔවුන් විසින්ම යෙදූ සටහන් කියවා බලමින්. ඒක නිසා කල්ගතවූවා කියා පරස්පරතා ඇතිවිය නොහැකියි. මේ සිද්ධියේදී කෙසේවෙතත් සමහර නඩුවලදි පොලිසිය කුඩු දමා අහිංසකයන් බන්ධනාගාර ගතකරනවා උසාවි යන අය දන්නා කරුණක්. කොහොම වුවත් පොලිසියට අවංකව හා නිවැරැදි ආකාරයට සටහන් ලියන්න උගන්වන්න පුලුවන්නම් වැරදිකරුවන් නිදහස්වීම අවම කරන්න පුළුවන්. පොලිසිය අපරාධ තොරතුරු පොතේ යොදන සටහන් පරණවිතාන මහත්තයාටවත් කියවාගන්න බැරිතරම් අපහසුයි. ඒ නිසා අත්අකුරු ලියන්න පොලිසියට උගන්වන්නත් ඕනේ...
සමහර පොලිස් නිලධාරීන් පගාව අරගෙන සටහන් හිතාමතාම අවුල් කරනවා.
අත්අඩංගුවට ගන්න වෙලාවේම පින්තුර ගන්න බැරිද?
ඕවා අවුල් කරන පොලිස් නිලධාරියාට විනය පරීක්ෂණයක් කරලා, තනතුරෙන් පහත හෙළීම වැනි දඬුවමක් දෙන්න. පොලිස් නිලධාරින්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් ගෙවන්නේ රාජකාරි හරිහැටි කරන්න මිසක් විකාර ලියන්න නොවේ. හරියට සටහනක් ලියන්න දන්නේ නැතිනම් මොවුන් සේවයේ තබාගත යුතු නැත..
ලෝකයේ බොහෝ රටකම වගේ පොලිස් රාලහාමිලා පැමිණිලි අතින් ලියාගැනීමේ සිරිත කුණු කූඩයට දමා තියෙනවා. පැමිණිල්ලක් පරිගණකයකට ඇතුළත් කර, එය පොලිස් නිලධාරියා විසින් කියවා, පැමිණිල්ල බාරදීපු කෙනත්, පොලිස් නිලධාරියත් ස්කෑන් අත්සන් තැබුවොත් ඔය වගේ දේවල් බොහෝදුරට මගහරවා ගැනීමට පුළුවන්...
පොලිස් නිලධාරින් වැටලීම් වලදී කැමරා භාවිතය අනිවාර්ය කලයුතුයි. කැමරා එකක් නැතිනම් දෙකක් වුනත් පැළඳිය හැකියි. සාක්ෂි මැකෙන්න්නේ ලියුවොත් නේ. වීඩියෝ කලොත් නිකන්ම පෙනෙනවානේ.
චම්පා, ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරණුයේ බොරුව සමාජගත කිරීමයි. මෙය මහා බරපතල සමාජව්‍යසනයනට හේතුවන බැවින් එම කරණු පාඨකයනට/පුරවැසියනට දැනගැනීමට සටහන් කරමි. වැටලීමකදී වඩා වැදගත් වනුයේ වැටලීමට අදාල සිද්ධිය හා අවස්ථාව පමණක් වන අතර පොලීසිය සටහන් යොදනුයේ එම සිද්ධිය සත්‍ය එකක් බව අධිකරණයට ඒත්තු ගැන්වීමේ එක් සාක්ෂියක් ලෙසය. එහිදී හරස් පුශ්න ඇසීම මගින් සිද්ධිය තහවුරුවීම හෝ නොවීම සිදුවේ. එය සිදුවිය යුත්තක්මය. එසේ නොවුනහොත් සිදුවනුයේ කැලෑ නීතිය රජවී පොලීසිය මිනිසුන්ට දඩුවම් දීමය. ඔබ කියන පරිදි වැඩිබර සාක්ෂිමත විනිසුරුතුමා විත්තිකරුවකුට දඩුවම් දෙන්නේ නැත. වැඩිබර සාක්ෂි භාවිතා කරනුයේ සිවිල් අධිකරණ කටයුත්තකදී මිස අපරාධ අධිකරණ ක්‍රියාදාමකදී නොවේ. අපරාධ අධිකරණ ක්‍රියාදාමයකදී විනිසුරැතුමා සාධාරණ සැකයෙන් ඔබ්බට යන සංකල්පය භාවිතා කරයි. එයට එක් හේතුවක් වනුයේ නිවරදි පුද්ගලයකුට දඩුවම් කිරීම, වරද කරුවකු නිදහස් කිරීමට වඩා මහා බරපතල අපරාධයක් බැවිනි.
චම්පා, ඔබ කියන විදිහට පොලිස් නිලධාරීන්ගෙන් අධිකරණයේ අසන පුශ්න වලට පිළිතුරු සැපයෙන ආකාරයට සටහන් යෙදීම ප්‍රායෝගික යැයි මම නොසිතමි. විත්තියේ නීතීඥවරයා ප්‍රශ්න කරනුයේ සැක ඇති තැන් උපුටා ගෙනය. පොලිස් නිලධාරියා කළ යුත්තේ සිදුවූ සිද්ධිය හා වැටලීම පිළිබදව සත්‍ය සටහනක් යෙදීම පමණි. වැටලීමට ගිය සියලු නිලධාරීන්ට අපරාධ තොරතුරැ පොතෙහි සටහන් යෙදීමට භාධාවක් නොමැත. පොලිස් දෙපාර්ථමේන්තු නියෝගවල යම් වැටලීමකදී එක නිලධාරියකු පමණක් සටහන්ට කළයුතු බවට කිසිම නියෝගයක් නැත. එක වැටලීමකදී එක සටහනක් යෙදීම මගින් මගින් පොලීසිය කරනුයේ සිද්ධිය පිළිබද ව්‍යාකූලතා අවම කිරීමයි. එකම සිද්ධියට සටහන් කිහිපයක් යෙදූවිට ඇතිවියහැකි පරස්පරතා අවම කිරීමට සිදුකරන කූට උපක්‍රමයක් ලෙස වැටලීමට ගිය එක නිලධාරිකු මගින් පමණක් සටහන් යොදවයි. අවසාන වශයෙන් කිය යුත්තේ අධිකරණ ක්‍රියාදාමය කල්ගතවූ විට අගතියට පත්වනුයේ සැකකරු /විත්තිකරු ය. අධිකරණ ක්‍රියාවලිය පොලීසිය විසින් කල්ගතකරවමින් සැකකරු හෝ විත්තිකරු දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම සිදුකරයි.
චම්පා, ඔබගේ ප්‍රතිචාරය කියවූ විට හැගීගියේ ඔබ උගත් හා කරුණු වැටහෙන අයකු බවය. නමුත් අසත්‍ය සමාජගතකිරීම සිදුව ඇති බැවින් එය නිවරදි කිරීමේ අරමුණින් දීර්ඝ ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවිය.
උසාවිය සම්බන්දයෙන් කණගාටු කාරණා දැනගන්න ඕනනම් රන්ජන් මහතාගේ හඬපටයකට සවන්දෙන්න.
සමහරවිට මෙයා හිතා මතාම කරන දෙයක් වෙන්න පුළුවන්.
මම දන්නේ නැහැ
මෙවැනි නඩුවල විත්තිකරුවන් නිදහස් කරගැනීමට ප්‍රසිද්ධ නීතිඥ මහතුන් ඉන්නවා.