(චමිල් රූපසිංහ)

මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගල විදපු ස්ථානයට පහළින් කන්දේ කොටසක් නාය යෑමේ අවධානමක් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

අධික වර්ෂාවත් සමඟ කන්දේ කොටසක් ඊයේ පස්වරුවේ නාය ගොස් වෙළෙඳ සැල් පහකට පමණ හානි සිදුව ඇති අතර අනකුත් කඩ ද නාය යෑමේ අවධානමත් ඇති නිසා වසා දැමුණු කඩ සාප්පුවල ඇති බඩු බාහිරාදිය ද ඉවත් කර ගෙන ඇත.

මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ස්ථානය නිරීක්ෂණයට අද (10) පෙරවරුවේ ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා නාය යෑමකට අවශ්‍යය සියලු සාධක එම ස්ථානයේ දක්නට ලැබෙන බැවින් හැකි ඉක්මනින්න වෙළෙඳ සැල් පවත්වා ගෙන යන පිරිස් ඉවත් කළ යුතුව ඇතැයි අවධාරණය කළේය.

අදාළ කඳු වැටියේ සිට පහළට එන ජල පහර පොළොව යටින් ගලා යන බැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නාය යෑමේ අවධානයක් මතුව තිබෙන බැවින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු වගකිව යුතු අංශ කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.