(බිඟුන් මේනක ගමගේ) 

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉකුත් ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ රුපියල් කෝටි 169 ක් වැය කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් කෝටි 91 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රුපියල් කෝටි 70  ක් හා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් රුපියල් කෝටි 5.7 ක් මෙලෙස වියදම් කර ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

ජනසත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි රුපියල් ලක්ෂ 60 ක් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජනරාල් මහේෂ් සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් වශයෙන් මෙම පිරිවැය දරා ඇත.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ මූල්‍යකරණ අංශය විසින් මෙම ප්‍රචාරණ වියදම්වලට අදාළ වාර්තා සකස් කරනු ලැබී යැයි ද මංජුල ගජනායක මහතා කීවේය.

මෙම ප්‍රචාරණ වැය ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව නොවැම්බර් 6 වැනිදා සිට 8 වැනිදා දක්වා දින දෙකක කාලයේදී රුපියල් කෝටි 27 ක් වාර්තා වීම විශේෂත්වයක් යැයි ද ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරණයේ අවසන් දින කීපයේ වියදම් වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.