(සුජිත් හේවාජුලිගේ )

ලැබෙන එන්නත  කුමක් වුවත් තේරීමකින්  තොරව ඉතාම ඉක්මනින් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙතෙක් එන්නත ලබාගෙන නැති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එන්නත්  තේරීමෙන් කිසිදු පලක් නැතැයිද ඔහු පැවසුවේය.

වයස 60ට වැඩි සියළුම පුද්ගලයන් ළඟම ඇති එන්නත්කරණ  මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා ගන්නැයිද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා   ඉල්ලා සිටියේය.

කොවිඩ්  ආසාදනයවී  මියගිය  පිරිසෙන් සියයට 70ත් 80ත් අතර සංඛ්‍යාවක්  එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් අය බව හෙළිවී ඇතැයි පැවසූ  ගුණවර්ධන මහතා   එන්නත ලබා ගැනීමේ වැදගත්කම එමගින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේදී  එන්නත්කරණ  වැඩපිළිවෙළ වේගවත් කර ඇතැයිද ඔහු පැවසුවේය.

මේ අතර  ලබන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර  මෙරට ජනතාවගෙන් බහුතරයකට එන්නත ලබාදී අවසන් කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

වයස 60ට  වැඩි පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත නිවසටම පැමිණ ලබාදීමේ වැඩපිළිවෙලක්ද යුදහමුදාව  විසින් ආරම්භ කරනු ලැබ ඇත.