
(නිමල කොඩිතුවක්කු)
කඩා වැටී ඇති එක්සත් ජාතික පක්ෂයට ජනතා ආකර්ශනය දිනා දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකිම තමන් බාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (15) පැවසීය.
පක්ෂය ශක්තිමත් කර ජයග්‍රහණය කරා මෙහෙයවන ගමනට එක්වන්නැයි පාක්ෂිකයන්ට, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සහ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් වලට තමන් ආරාධනා කර සිටින බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව සිදුකරන ජනතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කරමින් ශක්තිමත් විපක්ෂයක් බිහිකිරීමට තමන් කැපවන බවද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ දෙක හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මම ගැන විශ්වාසය තබලා පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට පත්කරලා තිබෙනවා. මේ දැවැන්ත පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරියේ දී දැවැන්ත කාර්ය භාර්යයක් තිබෙනවා. ඒ කැපවීම කරන්න මම සූදානම්.
එම ගමනේදි අපට බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. පාක්ෂිකයන්ගේ සහ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් සියලු දෙනා එකමුතු කරගනිමින් පක්ෂය ශක්තිමත් කිරීමට මම කැපවෙනවා. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා ලබමින් ආගමට දහමට ලැදිව ඒ ගමන යන්න මම අපේක්ෂා කරනවා.
තරුණ නායකත්වයක් පක්ෂයට අවශ්‍යයි කියලා පක්ෂය තුළ මතයක් තිබෙනවා. පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරලා අලුත් මුහුණුවරක් ගත යුතුයි කියන ස්ථාවරයේ මමත් හිටියා. ඉදිරියේදී ඒක කිරීම අවශ්‍යයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීමට මගේ අපේක්ෂාවක් නැහැ. මේ පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යාම මගේ එකම අරමුණයි. ලබන සතිය වනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා සුදුසු අයකු පාර්ලිමේන්තුවට යවන්න අපි කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට දැවැන්ත සේවයක් කරපු පක්ෂයක්. දැවැන්ත නායකයන් හිටපු පක්ෂයක්. ඒ තැනට ආපහු මේ පක්ෂය හදලා ගන්න අවශ්‍යයි. ඒ කැපකිරීම කරන්න තමයි මම ඉදිරිපත් වෙලා ඉන්නේ. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පිරිස ඒකරාශී කරගනිමින් මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තිබේ නම් නායකත්වය බාරගැනීමටත් මම ලෑස්තියි.
සමගි ජනබලවේගයේ ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ගිය කණ්ඩායමක්. එහි ඇතැම් පිරිස් මාත් එක්ක මේ දවස් කිහිපයේදීම සාකච්ඡා පැවැත්වුවා. ඒ අයගේ හිතේ තාමත් එක්සත් ජාතික පක්ෂය තිබෙනවා. ඒ අයත් එක්ක ඒකරාශීවී විපක්ෂයේ වගකීම අපි ඉටුකරනවා.
දැන් රජය 20 වන සංශෝධනය ඉදිරිපත් කරලා තිබෙනවා. එහි විශාල අඩුපාඩු තිබෙනවා. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් අපේ රජය සමයේදී 19 වන සංශෝධනය ඉදිරිපත් කළා. ඉන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකිවුණා. 20න් ආපහු ඒකාධිපතිත්වයක් කරා ගෙනියනවා. මේ ආණ්ඩුව ජනතාවිරෝධී කටයුතු කරනවනම් ඒවාට විරුද්ධ වෙන්න අපි පසුබට වෙන්නේ නැහැ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.