(විනීතා එම් ගමගේ)

           

මෙවර මහ මැතිවරණයේ තරග වදින අපේක්ෂකයන් අතරින් එක් ජනතා නියෝජිතයකු පත් කර ගැනීමට මහජන මුදලින් රුපියල් පන්කෝටි දසලක්ෂයකට ආසන්න මුදලක් වැය වන බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

මේ නිසා අපේක්ෂකයින් අතරින් ඉතාමත්ම  නිවැරදි අපේක්ෂකයන් තෝරා යවන්නට ඡන්ද දායකයින් පියවර ගත යුතු යැයි එම සංවිධානය අවධාරණය කරයි.

මෙවර මැතිවරණයේ දී රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැය වන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන අතර එම මුදල වැයකර පවත්වන මැතිවරණයේ දී තෝරාගනු ලබන්නේ අපේක්ෂකයින් 196 දෙනෙකු බවත් ඒ අනුව එක් අපේක්ෂකයකුට වැය වන මුදල රුපියල් පන්කෝටි දසලක්ෂයක් වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (12) පැවසීය.

මේ තත්ත්වය යටතේ ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් අශ්වයින් මිස පෝනින් තෝරා පත් කරන්නට ජනතාව කිසිසේත්ම කටයුතු නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව රටක ප්‍රතිපත්ති සම්පාදන ස්ථානය මෙන්ම රටේ ඉදිරි ගමන තීරණය කරන ස්ථානය ද වන බැවින් ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගී නොවන, පාර්ලිමේන්තුවේ ගරුත්වය නොරකින කිසිවෙකු එහි නොයවන්නට ඡන්ද දායකයන් වග බලාගත යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එමෙන්ම මහජන මුදල් විනාශ කළ, වංචා දූෂණවලට ගෑවුණු පිරිස් ප්‍රතික්ෂේප කිරීමට ද මෙවර මැතිවරණයේ දී ඡන්ද දායකයන් වග බලාගතයුතු යැයි ඔහු සඳහන් කළේය.