(රොහාන් කුමාර දිසානායක)

ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන සංවිධායක ඉම්තියාස් කාදර් මහතා ඇප මත නිදහස් කරන ලෙස අද(28) කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේය.

ලක්ෂයක ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත නිදහස් කරන ලෙසත් සැකකාර ආසන සංවිධායකවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් බලපත්‍ර දෙක අධිකරණය වෙත බාර දෙන ලෙසත් මහාධිකරණ විනිසුවරයා නියෝග කළේය.

2018 වසරේ ඔක්තෝබර් 18 දින කෑගල්ල ඇස්ලිපිරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන, කෑගල්ල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරණ ලෙස නියෝග ලැබ තිබිණි.

ඇප නොලැබ වසරකුත් සති දෙකක් බන්ධනාගාර ගතව සිටි මන්ත්‍රීවරයාට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

යළි නොවැම්බර් 26 වන දින නඩුව කැඳවීමට නියමිතය.