(විනිතා එම් ගමගේ)

ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වැලිකන්ද දිවුලානවිල විල්ලූව යම් පිරිසක් විසින් ඇඳිරි නීතියට මුවා වී විනාශ කරමින් සිටින බවට  පරිසරවේදීහු චෝදනා කරති.

අක්කර 2800 ක් පමණ ප‍්‍රමාණයකින් යුත් මෙම විල්ලූව පොලොන්නරුව වනජීවී කලාපයට අයත් බවත් දේශපාලන බලවතකුගේ මැදිහත් වීම ඇතිව මෙම විනාශය සිදුවෙමින් පවතින බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ ප‍්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරි ජනක විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
 
වන අලින් ගේ පාරාදීසයක් වන මෙම වනාන්තරය කලක් තිස්සේ කුඩා පරිමාණයෙන් කුඹුරු වගාව ස`දහා අත්පත් කරගනිමින් තිබු අතර මේ දිනවල එය විශාල පරිමාණයෙන් සිදුවෙමින් පවතින්නේ යැයි ද විතානගේ මහතා කීය.
 
ඉකුත් වසරේ අලි පස්දෙනෙක් මඬේ එරී මිය ගියේ මෙම විල්ලූවේ පුදුර ප‍්‍රදේශයේ දී යැයි පැවසූ ඔහු ඊට මුල් වූයේ ද සතුන් බිය වැද්දීම නිසා අලි මංකඩ මගහැර නුහුරු ප‍්‍රදේශයකින් එම අලි පස්දෙනා මඩට බැසීම නිසා යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. 
 
කොරෝනා වයිරසය පැතිර යන අවස්ථාවේ පවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නැයි තම සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි හේතුන් නිසා යැයි ද විතානගේ මහතා කීය.
 
මෙම ඉඩම් අල්ලන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යොදවන්නේ දැයි විමසිල්ලෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතාගෙන් ලංකාදීප කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව තම නිලධාරින් දැනුවත් වී ඇති බවය.
 
විල්ලූවේ වතුර මහවැලි ගඟට බස්සා මහා පරිමාණයෙන් ඉඩම් අල්ලා වගා කිරීමට තැත් කළ පුද්ගලයින් ගණනාවක් අල්ලා ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ බවත් ඇ`දිරි නීතියට මුවාවී තවත් පුද්ගලයින් මෙම නීති විරෝධී ක‍්‍රියාවට පෙළඹෙන අතර ඔවුන් ගැන ද තම නිලධාරින් අවධානයෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.