(ඩයනා උදයංගනී)

දේශීය විදේශීය ආයෝජන පහසුකම් පුළුල් කරමින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කර තිබේ.

මෙම අනුකාරක සභාව පත්කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුක්තව මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත්කර තිබේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් මෙම කමිටුව නියෝජනය කරන අමාත්‍යවරු වෙති.

මීට අමතරව සූර්යබල, සුළං හා ජල විදුලජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපහුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ගුවන්සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ජල පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සහ මුදල්, ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් යන මහත්වරු ද මෙහි සාමාජිකයෝ වෙති.

ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ජාතික සංවර්ධන වැඩසටහන තුළින් දිළිඳුකම පිටුදකිමින් සියලු පාර්ශවවලට ප්‍රතිලාභ ලැබෙන අපනයන හා ආනයන නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දේශීය විදේශීය ආයෝජන පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බැවින් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම අමාත්‍ය අනු කමිටුව පත්කර ඇත.