
(සුමතිපාල දීයගහගේ)
දින ගණනක් පුරා සියලු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව ගාල්ල වරාය වෙත රැගෙන පැමිණි බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

2020 ජූලි 21 වැනිදා කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලැබුණු ආපදා සංඥාවකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 170 ක (කිලෝමීටර 306 ක්) දුරකින් ආපදාවට පත්වී මුහුදේ පාවෙමින් තිබූ එම යාත්‍රාව ඇදගෙන ඒම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇත.
කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි HORAKHTY (IMO No. 8805298) යාත්‍රාව එහි කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 13ක් සමඟින් අවසන් වරට 2020 ජුනි 22 වැනිදා දකුණු කොරියාවේ බූසාන් වරායෙන් පිටත්වී ඇති අතර, යාත්‍රාව කෙන්යාවේ මොම්බසා වරාය වෙත ගමන් කරමින් සිටියදී එහි සියලු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීමෙන් මෙලෙස ආපදාවට පත්වී ඇත.
ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුළ මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර මීට පෙරද නාවික හමුදාව මෙම කළාපය තුළ ආපදාවට පත් වූ නෞකාවන් සහ යාත්‍රාවන් වෙතින් ලැබුණු ආපදා සංඥා ගණනාවකට ප්‍රතිචාර දක්වා ඇත.
1974 දී මුහුදේ ජීවිත සුරක්‍ෂිතතාව පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතියට අත්සන් කරන ලද රාජ්‍යයක් වශයෙන් එවැනි අන්තර්ජාතික සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාවට ඇති එම ජාත්‍යන්තර වගකීම නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් සහතික කරනු ලබයි.
නාවික හමුදාව පසුගිය වසර තුළදී පමණක් සිදු කළ සාගරික මුදවාගැනීමේ මෙහෙයුම් 41 ක් මගින් මුහුදේ දී ජීවිත 103ක් බේරා ගැනීමට සමත් වී ඇත. මෙම වසරේ පසුගිය මාස 7 තුළ පමණක් මුහුදේ දී ආපදාවට පත් වූ නෞකාවන් 34 කට සහාය වී ඇති බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කෙරුවාව නිසා යන්නේ කොහෙද මල්ලෙ පොල් තමයි...