(හර්ෂණ තුෂාර සිල්වා)
ආර්ථිකය තුළ ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියේදී ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කරනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (29) පැවැසීය.
බදු සහන ආදී සහන ලබාදීම සඳහා රාජ්‍ය මූල්‍ය අංශය තුළ ඉඩක් තිබෙන බවත් ආණ්ඩුව දුන් සහනවලින් කෙටිකාලයේදී ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයක් ඇතිවනු ඇති බවත් කුමාරස්වාමි මහතා කීවේය.
මේ වසරේ හත්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මෙම මාධ්‍ය හමුව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සහභාගී වූ අවසන් මාධ්‍ය හමුව ද විය.
නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුළ අදාළ සහන ක්‍රියාත්මක වනු ඇතැයි කී කුමාරස්වාමි මහතා බදු සහනවලින් කෙටිකාලය තුළ ආර්ථික වර්ධනයක් ඇති කරනු ඇතැයි ද ඊට ආයෝජකයන්ගේ විශ්වාසය සහ මුදල් ප්‍රතිපත්තිය ඉඩ සලසනු ඇතැයි ද කීවේය.
සුදුසු පරිදි ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීම තුළින් තිබෙන සීමිත ප්‍රතිපත්තිමය අවකාශය දූරදර්ශි හා ඥානාන්විතව ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙනු ඇති බවත් එය කෙටිකාලීනව ආර්ථිකයට ඊට හැකි උපරිම අයුරින් ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසනු ඇති බවත් කුමාරස්වාමි මහතා කීය.
ආර්ථිකය තුළ වර්ධනයක් ඇති කිරීමට නම් යම් කිසි මට්ටමක සමස්ත ඉල්ලුමක් අවශ්‍ය බවත් එසේ වුවත් එය සමස්ත ඉල්ලුම සීමාව ඉක්මවා නොයා යුතු බවත් හෙතෙම පැවැසීය. ඒ නිසා ආණ්ඩුව ඉතාම ඉක්මනින් ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කළ යුතු යැයි ද ආණ්ඩුව ඉදිරියේදී එසේ කරනු ඇතැයි ද ඔහු කීවේය.
ආර්ථිකය තුළ ඇති කරන ලද මෙම ඉල්ලුම සීමාව ඉක්මවා යෑම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකාව මෙතෙක් නොවරදවා ණය වාරිකා ගෙවූ බවත් සහන ලබාදීම තුළින් ණය වාරික ගෙවීමටත්, දීර්ඝකාලයේදී උද්ධමනය අඩු සහ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමටත් ආණ්ඩුවේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන රාජ්‍ය මූල්‍ය ගමන් මඟට බාධාවක් එල්ල නොවීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
ඔයාලගේ කතාව හරියට හනිමුන් ගිහිල්ලා ගෙදර එන දවසේ අහනවා කෝ උඹලගේ ළමයි කියලා. ටිකක් ඉවසලා හිටපන්. එ්කට මාස ගණනක් යයි.
අපිට ඕවා තේරෙන්නේ නැහැ.
ඒ ගැන බයවෙන්න එපා. දැනට තාවකාලිකව පත් කරගත් අයත් එක්ක මහින්ද ඔය පැකේජයට වග කියයි.
සෑම පැකේජ් එකකටම වියදමක් තිබෙනවා. ඔය පැකේජ් එකට ගෙවන්නේ කොහොමද..? සල්ලි ණයට ගැනීම එක ක්‍රමයක්. අනෙක් ක්‍රමය සල්ලි නෝට්ටු මුද්‍රණය කිරීම. ඒ සෑම ක්‍රමයකින්ම සාමාන්‍ය ජනතාවගේ වියදම ඉහළ යන එක තමයි සිදුවෙන්නේ... දූෂණය නැතිනම් යහපතක් සිදුවෙන්න පුළුවනි.