ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) සහ අනිද්දා (11) විවාදයට ගැනීමට ඊයේ (8) රැස්වුණු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත.
මේ අනුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම අනිද්දා (11) පස්වරු 6.30 ට පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානයේ තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ සම්බන්ධයෙන් අප සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව අතඋඩින් ජයග්‍රහණය කරන බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසුවේ විශ්වාසභංග යෝජනාවකට මෙතෙක් ලැබුණු වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගෙන යෝජනාව ජයග්‍රහණය කරවීමට උපරිමයෙන් කැපවෙන බවයි.
අටවැනි පාර්ලිමේන්තුවේ ආසන හිමිවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95 ක්ද, දෙමළ ජාතික සන්ධානයට ආසන 16 ක්ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 6 ක්ද, ඊළාම් ජනතා ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයට (ඊ.පී.ඩී.පී.) ආසනයක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට ආසනයක්ද වශයෙනි.
ආණ්ඩුවට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට ඉකුත් මැයි මස 21වැනිදා බාරදෙනු ලැබීය.
COMMENTS
යහපාලන ආණ්ඩුව රකින ජවිපෙ බොරුවට රටට පෙන්න කරන විගඩම් මේ.
මේක ජ.වි.පෙ. රනිල් ජෝක් කිව්වට කමක් නෑ. විජේවීර හිටියා නම් සියදිවි නසාගන්නවා.. මේ විගඩම් දැකලා...
ආණ්ඩුව සහ ජවිපෙ අතර සටන මම බොරුවට ඔයාට ගහන්නම් ඔයා මට බොරුවට ගහන්න. පැට්‍රොල් ලාම්පුව නිවුනම දෙගොල්ලොම එකට ජොලියේ............
දැන් මේ විගඩම් කරලා මෙයත් දැන් හරිම වයසයි. දැන් තියෙන්නේ රට දියුණු කරන පැත්තකට උදව් කරමින් රටේ දියුණුවට උදව් කරන්නයි. සිංහලයෝ බෙදිලා එ්ක කරන්න නැහැ. කරුණාකර අපේ පාඨලී ඇමතිතුමන් අනුගමනය කරන්න. නියම සිංහලයෝ නම් එහෙමයි කරන්න ඕනේ...