(සමන් කේ. ගමගේ)

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයින්ඩිකුලම , වළගම්බාහුව, මාවතවැව හා ,මහකණුමුල්ල ආදි ගම්මාන රැසකට මේ දිනවල විශාල වන අලි රංචුවක් කඩාවැදීමෙන් රාත්‍රි කාලයේ ගොවිබිම් වනසන බව ගොවීහු පවසති.

වසර දෙකක් තිස්සේ නියගයෙන් පවා ආරක්ෂා කරගත් අක්කර තුනක පොල් වගාව පැය දෙකකින් සම්පූර්ණයෙන්ම වල්අලි විනාශ කළ බව ද ඔවුහු පවසති.

වනඅලි ගම්වැදීමෙන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙම ප්‍රදේශය ආවරණය කොට ඉදිකර ඇති ආරක්ෂිත විදුලි වැට නිසියාකාරව සක්‍රීය නොවීම නිසා මෙලෙස වන අලි රාත්‍රි කාලයේ ගම්වදින බවද ගොවීහු කියති.

දැඩි නියං තත්ත්වයං තුළ දී වුවද රැකගත් පොල්, කොස්,කෙසෙල්, අඹ වගාවන්ට වන අලි සිදු කරන හානි ඉවසා ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ද ගොවීන් කියයි.

ඉකුත් 20 වනදා රාත්‍රියේ පයින්ඩිකුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකුගේ පොල් ගස් 110ක් වනඅලි රංචුව විසින් පැයක් ඇතුලත විනාශ කර දමා ඇත.