(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

ඉන්දියන් ඕයිල් සමාගම (අයි.ඕ.සී) ඩීසල් සහ පෙට්‍රල් රුපියල් පහකින් මිල වැඩි කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව තව දුරටත් ඉහළ යන බවත් සංස්ථාවට රුපියල් පහක මිල ඉහළ දැමීමක් ප්‍රමාණවත් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ලෝක වෙළෙඳපලේ තෙල් මිල ඉහළ යෑම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්තෝබර් මස සිට ඩීසල් ලීටරයකින් රුපියල් 37.45 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 23.19 ක අලාභයක් ලබන බව කී සුමිත් විජේසිංහ මහතා ලෝක වෙළෙඳපලේ ඔක්තෝබර් 01 වැනිදා වන විට ඩොලර් 85.80 ක පැවැති පෙට්‍රල් බැරලයක් 99.30 ක් දක්වා ද, ඩොලර් 88.52 ක්ව පැවැති ඩීසල් බැරලයක් 97 ක් දක්වා ද ඉහළ යෑමෙන් සංස්ථාවේ අලාභය තවත් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

ඉන්ධන මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ දමනවාද යන්න රජය දැන් තීරණය කර ළගදීම තීන්දුවක් ගනු ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල වැඩිවීමක් බලාපොරොත්තුවෙන් සිටින බවත් සුමිත් විජේසිංහ මහතා කීය.

අයි.ඕ.සී. එකෙන් වැඩි මිලට ඉන්ධන ලබාගැනීමට ජනතාව නොයෑම හේතුවෙන් ඔවුන් සපයන සියයට 10 ක පමණ ප්‍රමාණයෙන් කොටසක් ඛනිජ තෙල් සංස්ථාවට සැපයීමට සිදුවන බව කී සුමිත් විජේසිංහ මහතා පැවසුවේ අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 ක් සහ  ඩීසල් ලීටරයකින් රුපියල් 40 ක පාඩු ලබන්නේ යැයි පවසා රුපියල් 5 ක් වැඩි කිරීම කළමනාකරණය කර ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවත්ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තෙල් තොග තිබීම නිසා හිඟයක් නොමැති බවත් සැලැස්මකට අනුව කාලය සිට කළ ආකාරයට ගබඩා පහසුකම් අනුව තෙල් නැව් ගෙන්වාගනිමින් සිටින බවත් සභාපතිවරයා කීය.

රජය සහ අයි.ඕ.සී. සමාගම අතර පවතින ගිවිසුමට අනුව ඔවුන්ට මිල වැඩි කිරීමේ හැකියාව ඇති බවත් මීට පෙරත් ඔවුන් එසේ මිල වැඩි කර ඇති බවත් සුමිත් විජේසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්තාවට අයත් ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අයුරු (තිලකරත්න දිසානායක)