(සනත් ගමගේ)

අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා කළු කොඩි ඔසවා අද (8) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙරටට පිටුවහල් කර සිටින පාකිස්ථාන  ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රජයේ පුනරුත්ථාපන නිවර්තන රැඳවුම් කඳවුරට යොමු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමක් ලෙස මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කළ බව අම්බලන්තොට වෙළඳ සංගමයේ අනුශාසක අසේල කුමාරසිංහ මහතා කීය.

අම්බලන්තොට නගරයේ ජනතාව පැවසුවේ මෙතෙක් ඉතා සහජීවනයෙන් නගරයේ  සිටි අතර කිසිදු ජාතිභේද ඇවිස්සීම් සිදු නොවී ඉතා සාමකාමී ලෙස ජීවත් වූ නගරයක් බවයි. මෙම මුස්ලිම් පාකිස්ථාන සරණාගතයින් අම්බලන්තොට රිදියගම නිවර්තන කඳවුරට ගෙන ඒමෙන් රිදීයගම ගම් ඇතුළු නගරයට යම් බලපෑම් කෙදිනක හෝ එල්ල වීමේ බලපෑමක් ඇති වන හෙයින් මෙම කඳවුරට ‍ඔවුන් ගෙනඒම නතර කිරීමට පියවර ගන්නා ලෙස අසේල කුමාරසිංහ මහතා වෙළඳසැල් හිමිකරුවන් වෙනුවෙන් ඉල්ලීමක් කළේය.

අම්බලන්තොට රිදියගම නිවර්තන කඳවුර පිහිටි රුහුණු රිදියගම ප්‍රදේශයේ දී ගම්වැසියෝ විහාරස්ථානයට එක් වී විරෝධය පළ කළහ.