(කාංචන කුමාර ආරියදාස)

දිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු 10 ක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයකු අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දොඩංගොඩ  ප්‍රදේශයේ  පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

ජනතාව රවටමින් මුදල් වංචා කළ සිද්ධීන් ගණනාවක් සඳහා මතුගම,කළුතර, අනුරාධපුර, මහනුවර, දොඩංගොඩ යන අධිකරණ වලින් මෙම පුද්ගලයාට විරුද්ධව නඩු පැවැත්වෙන බවත් අධිකරණය මගහැර සිටිමෙන් සැකකරුට විවෘත වරෙන්තු නිකුත් කර ඇතැයි සීගිරිය පොලීසිය කියයි.

පොලොන්නරුව, කොළඹ, හා දිවයිනේ විවිධ ප්‍රදේශවල වසර 15 ක පමණ කාලයක් පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ යෙදී සිටි අයෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනෙකුත් අධිකරණ වලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සීගිරිය පොලිසිය කියයි.