(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේදී මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඌව පළාතේත්, අම්පාර, හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා කීවේය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.