( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බාලවයස්කාර දැරියක දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩසහිත වසර 15 ක සිරදඩුවම් ලැබ සිටින අකුරැස්ස ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරැණු දැක්වීමට ජූලි 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද නීතිපතිවරයා නොතීසි නිකුත් කළේය.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙළ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවූ අතර එහිදී නීතිපතිවරයාට මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබ ඇත.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර චූදිත අතින් තමා දූෂණය නොවූ බව පැමිණිලිකාර දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇති බවය.
තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත් එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් , මේ හේතුවෙන් අදාළ සිර දඩුවමට ඒරෙහිව තම සේවාදායකයා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුව ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
සල්ලි පෙරේතකමට මේ වගේ අය වෙනුවෙන් පෙනී සිටින අපතයින් අපකීර්තියක්...