IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නැව් කොල්ල කන සෝමාලියානුවෝ

 

මා සේවය කළ නැව යුරෝපයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබුණේ අත්ලාන්තික් සාගරය හරහාය. ද්‍රව වායුව රැගත් අප නෞකාවට සිංගප්පූරුව කරා යාහැකි කෙටිම මග වැටී ඇත්තේ සූවස් ඇළ ඔස්සේ ගොස් ඒඩින් බොක්කට වැටී එතැනින් ඉන්දියානු සාගරය ඔස්සේ සිංගප්පූරුව හරයා වුවත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නිසා අපි සූවස් ඇළ මාර්ගය අතහැර අත්ලාන්තික් සාගරය හරහා දකුණු දෙසට ගමන් කර දකුණු අප්‍රිකාවේ කේප් තුඩුවට යටින් ගොස් මුරුසියට නැගෙනහිර දිසාවෙන් නැවත උතුරට හැරී සිංගප්පූරුව දක්වා යන පැරැණි මුහුදු මාර්ගය තෝරා ගතිමු.


මෙම දිගු ගමන් මාර්ගය වෙනුවට සූවස් ඇළ ඔස්සේ එන කෙටි මාර්ගය වර්තමානයේ භාවිත වුවත් සෝමාලි මුහුදු කොල්ලකරුවන් නිසා එම ගමන බිහිසුණුය. මෙම දිගු ගමන් මාර්ගයට විශාල වියදමක්ද දැරීමට සිදුවෙයි. විශාල කාලයක්ද ගතවේ. එහෙත් නැවක් සෝමාලියානු කොල්ලකරුවන්ට යටත්වීම යනු සේවකයන්ගේ ජීවිත අනතුරේ දැමීමකි. දෙවැනිව නැව මළ කෑ යකඩ ගොඩක් බවට පත්ව මුහුදේ ගිල්වා දැමීමට සිදුවීමය. ඔවුන් ඉල්ලන කප්පම් මුදල ගෙවා නැවක් බේරා ගැනීමට වසර දෙකක පමණ දිගු කාලයක් ගතවන නිසා ඔවුන්ගේ අත්අඩංගුවට පත්වන නැවක් නිදහස් කළද ප්‍රයෝජනයට ගත හැකිවන්නේ නැත. මේ නිසා බොහෝ නැව් සමාගම් වැඩි වියදමක් හා වැඩි කාලයක් ගත වන ආරක්ෂාකාරී දීර්ඝ ගමන් මාර්ග තෝරාගනියි.

 


● මෙසේ මුහුදු ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙන්ම මුහුදු නාවිකයින් හට විශාල තර්ජනයක් එල්ල කරන මොවුන් කවුද? 
සෝමාලියාවේ ක්‍රියාත්මක වන බලවත් අන්තවාදී කණ්ඩායම් විසින් ඒකාධිපති පාලක මොහොමඞ් සෙයිඞ් බාරිගේ පාලනය 1991 පෙරළා දැමීමෙන් පසු සෝමාලියාව නිසි රාජ්‍ය පාලනයක් නොමැති රටක් බවට පත්විය.


නිසි ලෙස ක්‍රියාත්මක නොවූ ආරක්ෂක අංශවල අඩුපාඩුව විශේෂයෙන් නාවික හමුදාවේ ක්‍රියාකාරීත්වය නොමැති වීම, සෝමාලි මුහුදු සීමාවේ නීති විරෝධී මාළු ඇල්ලීම, අහිතකර විෂ සහිත කර්මාන්තශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය බැහැර කිරීම දිගින් දිගටම යුරෝපයේ සහ ආසියාවේ නැව් මගින් අපද්‍රව්‍ය පිටකිරීම මුහුදු කොල්ලකෑම් සඳහා හේතුවිය.


පසුගිය දශකය අවසානය දක්වා මහත් ලෙස පීඩාවිඳි සෝමාලි ධීවරයන්ගේ මානසික පීඩනය ඔවුන් අවසන් කරන්නේ ආයුධ සන්නද්ධ සෝමාලි වෙරළ ආරක්ෂක බළකාය නැතහොත් ජාතික ස්චේඡා වෙරළ ආරක්ෂක බළකාය පිහිටුවා ගැනීමෙනි. මෙසේ පිහිටුවාගත් සෝමාලි වෙරළ ආරක්ෂක බළකාය දකුණු කොරියාව, ඉතාලිය, තායිලන්තය, ස්පාඤ්ඤය සහ තවත් රටවල්වලින් ඇදී එන නෞකා පලවාහරින්නටත්, සෝමාලි මුහුදු තීරයේ  මොවුන්ගේ අණසක යටතට ගන්නටත් සමත් විය.


නිරායුධ වෙළෙඳ නෞකා තමන්ගේ ආයුධ සන්නද්ධ කුඩා බෝට්ටු මගින් තම වෙරළ තීරයෙන් පලවා හැරීම දකින තවත් සෝමාලි වැසියෝ පිරිසක් මෙමගින් ජීවනෝපාය මාර්ගයක් පාදා ගනිති. කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණි වෙළෙඳ නෞකා පැහැර ගන්නේ ඉන් අනතුරුවය.

 


● කොල්ලකරුවන් ක්‍රියාත්මක වන්නේ කෙසේද?
ප්‍රාථමික අවධියේදී ඔවුන් වෙළෙඳ නෞකා වෙත ළඟා වූයේ කුඩා ධීවර යාත්‍රා උපයෝගී කර ගැනීමෙනි. ඔවුන් අතවූයේද සුළු ගිනි අවි දෙක තුනක් පමණි. නමුත් කාලයත් සමඟ ඔවුන් මත එකතු වූ කප්පම් මුදල් සහ අත්දැකීම් සමුදායත් සමඟ මනාව සංවිධානය වන මෙම කණ්ඩායම් අධිවේගී යාත්‍රා, ස්වයංක්‍රීය ගිනි අවි, ආර්.පී.ජී. අවි සහ නෞකා සොයාගන්නා තාක්ෂණික උපකරණද මගී යාත්‍රාද හිමි කරගත්හ. ඉන්පසු මව් යාත්‍රාවේ සිට වෙළඳ නෞකාවන් ඉලක්ක කර කුඩා යාත්‍රා දියඹට එක්කර පහර දීම සහ පැහැර ගැනීම දක්වා ඔවුන්ගේ ශක්තිය විහිදී ගියේය.

 


● නෞකා පැහැර ගන්නේ කෙසේද?
සෝමාලි මුහුදු කොල්ලකරුවන් සෝමාලි මුහුදු සීමාවෙන් අනතුරුව අද වනවිට මුහුදු සැතපුම් 400-500 දක්වා දුරට ඈත මුහුදු දක්වා ඔවුන්ගේ පැහැර ගැනීම් සහ පහර දීම් ව්‍යාප්ත කර ඇත. අධිවේගී යාත්‍රා මගින් වෙළෙඳ නෞකා වෙත ළඟා වූ විගසම ඉදිරිපස සහ පිටුපසින් ස්වයංක්‍රීය ගිනි අවි සහ ආර්.පී.ජී. අවිවලින් ප්‍රහාර එල්ල කරන්නේ නාවිකයින් භීතියට පත්කර නෞකාව නවත්වා ගන්නා අරමුණිනි.


නිරායුධ නාවිකයන්ටත් නාවික කපිතාන්වරයාටත් මූලිකව කළ හැක්කේ නෞකාව සිග්සැග් ආකාරයට යාත්‍රා කිරීමටත්, අධි පීඩන ජල ප්‍රහාර ඔවුන්ට එල්ල කර නෞකාවට ගොඩවීම වැළැක්වීමත් පමණි.


එහෙත් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන ඔවුහු වෙනත් අධිවේගී යාත්‍රාවක් මගින් කෙසේ හෝ ලණු හා කොකු උපයෝගී කරගෙන නැව් තට්ටුව මතට ගොඩවෙති. මේ සඳහා වැඩි වේලාවක් ගත නොවේ. විශාල නෞකාවකට ගොඩවීමට තමන්ගේ මුහුදු තීරය හුරු ඔවුන්ට මහ වේලාවක් යන්නේ නැත.


ආයුධ සන්නද්ධ මුහුදු මංකොල්ලකරුවන් නැව මතට ගොඩ වූ විගසම සියලුම නාවිකයන්ගේ ජීවිත ආරක්ෂාව මුල්තැනේලා සැලකීමට නාවික කපිතාන්වරයාට සිදුවේ. ඔවුන්ට යටත් වී ඔවුන්ගේ නියෝග පරිදි සෝමාලි මුහුදු තීරයට නෞකාව යාත්‍රා කිරීම හැර අන් දෙයක් කිරීම නුවණැති යාත්‍රාපතියෙකු නොකළ යුතු දෙයකි.

 


● නාවිකයන්ට මොකද වෙන්නේ?
සම්ප්‍රදායික සෝමාලි වැඩිහිටියන් මෙම මුහුදු කොල්ලකෑම් අනුමත නොකර හෙළා දැක්කද මුහුදු කොල්ලකරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඉතා දුප්පත් රැකියා විරහිත තරුණයින් ඔවුන් විඳින ඉතා දුක්ඛිත ජීවිත තත්ත්වයෙන් මිදීමට හා කෙටි කලක් තුළ විශාල මුදලක් උපයා ගැනීම සඳහා මුහුදු කොල්ලකරුවන් ලෙස බැඳෙති. කෙසේ වෙතත් මොවුන් සියලුම ප්‍රාණ ඇපකරුවන්ට හොඳින් සලකන බව වාර්තා වේ. සියලුම නාවිකයන් එක ස්ථානයකට ඒකරාශි කර තබා ගැනීමටත් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් බැහැර වීමටත් ඉඩ සලසා දී තිබේ. සැමවිටම ආයුධ සන්නද්ධව සිටින ඔවුහු සියලු දෙනා පිළිබඳවම අවධානයෙන් පසුවෙති.

 


● කප්පම් මුදල් ලබාගන්නේ කෙසේද?
“සීරියස් ස්ටාර්” නමැති සවුදි තෙල් නෞකාවේ සේවය කළ දෙවැනි යාන්ත්‍රික ඉංජිනේරුවරයා සෝමාලි මංකොල්ලකරුවන් ගෙන් නිදහස් වූ පසු මේ පිළිබඳව යුරෝපීය පුවත්පතකට අදහස් දක්වා තිබුණේ මෙසේය.


“අපි දැනගෙන හිටියා නැව් සමාගම සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් සමඟ කප්පම් මුදල ගැන සාකච්ඡා කරන බව. නමුත් නැවේ කපිතාන්වරයාගේ සිට පහළට කිසිම අයෙක් එයට හවුල් වුණේ නෑ. ඔවුන් සෑමවිටම නෞකාවේ සේවකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා. මන්ද මුලින්ම මුදල් හුවමාරු වෙන දවසේ මුලින්ම හෙලිකොප්ටරය ඇවිත් නැවේ සියල්ලන්ම නැව් තට්ටුව මතට ගෙන එන්නට අණ කර සියලු දෙනා සිටින බවට තහවුරු කරගත් පසු මුල්ම මුදල් තොගය පැරෂුට් එකක ආධාරයෙන් වතුර නොයන බහලුමක බහා මුහුදට අත හැරියා. ඉන් පසු තව පැය දෙකකින් පසු ඉතිරි මුදලත් එලෙසම අත හැරියා. පැයක් ඇතුළත මුදල් රැගෙන සියලු දෙනාම නැව අතහැර ගොඩබිමට ගියා. පසුව අප දැනගත්තා එලෙස ඩොලර් බිලියන 2ක මුදලක් ඔවුන්ට ගෙවා ඇති බව. කෙසේ වෙතත් සියලු දෙනාත්, නැවත් නිරුපද්‍රිතව ඔවුන්ගෙන් මිදී ආ එක ගැන ගොඩාක් සතුටු වෙනවා.


දැනටමත් විශාල නැව් සමාගම් ආසියාවේ සිට යුරෝපයටත්, යුරෝපයේ සිට ආසියාවටත් ඇති කෙටි මුහුදු ගමන් මග බැහැර කර දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව හරහා විශාල මුදලක් සහ කාලයක් මිඩංගු කරමින් යාත්‍රා කිරීමට තීරණය කර ඇති නිසාම මුහුදු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ නැගීමටද එය බලපා ඇති බවක් පෙන්නුම් කරයි.



අදහස් (0)

නැව් කොල්ල කන සෝමාලියානුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site