(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි  සහ ගම්පහ තිලකරත්න දිසානායක)

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකු අද (5) පස්වරුවේ හදිසියේ ක්ලාන්තවීමෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුවී ඇති  අතර කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් මගින් එම ඡන්ද මධ්‍යස්ථානයන්හි ඉදිරි කටයුතු සිදුකළ බව මැතිවරණ කටයුතු භාර නිලධාරියෙක් පැවසීය.

වත්තල නගරෙය් සහ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ වටද්දර ඡන්ද මධ්‍යස්ථාන බාරව කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මෙසේ රෝගී වී ඇත. එක් ස්ථානාධිපතිවරයෙක් රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යළි රාජකාරියට වාර්තා කළ බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

අනෙක් ස්ථානාධිපතිවරයා බාහිර ප්‍රතිකාර පමණක් ලබා ඇත. ඔවුන් රෝගී වූ වහාම කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ගේ මාර්ගයෙන් ඉදිරි කටයුතු සාර්ථකව සිදුකළ බවද මෙම නිලධාරීන් බොහෝ වෙලාවක් මුඛ ආවරණ දමාගෙන සිටීම හේතුවෙන් මෙසේ රෝගී වන්නට ඇතැයි සැකකරන  බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.