IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ලෝක දේශපාලනයේ අලුත් මාතෘකාව එම්මානුවෙල් මැක්රොන්

2017 වසර යනු ප්‍රංශයට පෙරළිකාර වසරකි. ඒ එම වසරේ මැයි මාසයේ පැවැති ජනාධිපතිවරණය ප්‍රංශ ඉතිහාසයට නව පිටුවක් එක් කිරීමත් සමඟය. මේ පිටුව වාර්තා ගණනකින් සමන්විත වූවකි.


දේශපාලන පක්ෂයක් නොමැති ස්වාධීන අපේක්ෂකයකු එරට ජනාධිපති වූ ප්‍රථම වතාව, ප්‍රංශ ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා, ප්‍රංශයේ මෙතෙක් පාලනය කළ සමාජවාදී පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය ප්‍රථම වතාවට සුදුසුකම් නොලැබීම, 57,000 ක් තරම් පොලීසිය හා හමුදා ආරක්ෂාවක් සහිතව පැවැත්වු ප්‍රථම ජනාධිපතිවරණය වීම, හිටපු ජනාධිපති දෙවැනි වරට ඉදිරිපත් නොවූ ප්‍රථම අවස්ථාව වීම ආදි ලෙසින් ඉහත සඳහන් සිදුවීම් සියල්ල ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයේ ඓතිහාසික සිහිවටනයන්ය. අවසානයේ හිටපු අගමැති, හිටපු අධ්‍යාපන ඇමති පරදවමින් ආර්ථීක කටයුතු ඇමති ජනාධිපති තනතුරට පත් වූණි.


ප්‍රංශ ජනාධිපතිවරණයේ වට දෙකකදීම ජයග්‍රාහී ඡන්ද ප්‍රතිශතයන් ලබා ගනිමින් 39 හැවිරිදි එම්මානුවෙල් මැක්රොන් මහතා අන්ත දක්ෂිණාංශික මහජන පෙරමුණේ මරී ලෙපෙන් මහත්මිය පරාජය කරමින් ඉදිරි වසර 5 කට ප්‍රංශයේ ජනාධිපති තනතුරට පත්වූ අතර ඔහු හා පෙමින් බැඳි මේ වන විට විවාහ වී සිටින ඔහුගේ 63 හැවිරිදි ප්‍රංශ භාෂා ගුරුතුමිය එරට ජනාධිපති ආර්යාව බවට පත්වී ඇත්තේය. එය ද එක්තරා  දෛවෝපගත සිදුවීමකි. ඒ සමගම නව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ලෝක ජනමාධ්‍යයේ විශේෂ මාතෘකාවක් බවට පත්වී ඇති හෙයිනි. 


වර්ෂ 1977 දෙසැම්බර් මස 21 වෙනිදා පැරීසියේ සිට කිලෝමීටර් 145 ක් උතුරු දිග ප්‍රංශයේ පිහිටි ඇමියෙන් නගරයේදී ස්නායු වෛද්‍ය විශේෂඥයෙකු වූ පියෙකුට හා ජාතික සෞඛ්‍ය රක්ෂණ ආයතනයේ උපදේශිකාවක වූ මවකට දාව උපත ලැබූ එම්මානුවෙල් ජෝන් මිචෙල් ෆෙඞ්රික් මැක්රොන් සිය ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා පැරීසියේ පිහිටි සුප්‍රසිද්ධ හතර වන හෙන්රි පාසැලට ඇතුළත් විය. ඔහුගේ වයස අවුරුදු 63 ක් වයසැති වර්තමාන බිරිඳ බි්‍රජට් මැක්රොන් ඔහුට හමුවූවේ එහිදී ය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 16 කි. ඇය 40 හැවිරිදි තිදරු මවකි. ඇගේ දෙවන දියණිය මැක්රොන් හා සම වයසේ එකම විදුහලේ එකම පංතියේ පාසැල් මිතුරියක් ය. 


පාසලේ නාට්‍ය පුහුණු වැඩමුළුවකදී වැඩිදුරටත් හඳුනා ගන්නා ගුරු සිසු දෙදෙනාගේ ආදරය කොතරම් මුහුකුරා ගියාද යත් මැක්රොන් සිසුවා වයස අවුරුදු 17 ක් වන විට තම ගුරුතුමිය හා ඉදිරියේදී විවාහ වන බවට ස්ථීර පොරොන්දුවක් ද දුන්නේය. මෙම ආදර සම්බන්ධය කන වැකුණූ මැක්රොන් දෙමාපියන් එකහෙළාම එයට විරුද්ධත්වය ප්‍රකාශ කළ ද, එය නවතා දැමීමට ඔවුන් ගත් උත්සාහයන් නිශ්ඵල විය. ඒ දිනවල පෙම් කළ තම ගුරුතුමිය බැලීමට ඇගේ නිවසට ගොස් ඇත්තේ තම වයසේ ඇගේ දියණිය බැලීමට යන බවට මුසා බස් කියමින්ය. 


සරසවි පිවිසුම් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වීමෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා පැරීසියට නුදුරු නන්තෙආර් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ඔහු දර්ශනය හැදෑරීය. ඉන්පසු ප්‍රංශයේ පිළිගත් ගෞරවනීය උසස් අධ්‍යාපන පීඨයක් වන සයන්ස් පෝ ආයතනයෙන් දේශපාලන විද්‍යාවට ද ජාතික රාජ්‍ය කළමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපන පීඨයෙන් මුදල් හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳවද ආචාර්ය උපාධි දෙකක් ඉතාමත් ඉහළින්ම සමත් වීමට තරම් මැක්රෝන් දක්ෂ විය.


තම උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරන මැක්රෝන් 2004 දී එරට මහා භාණ්ඩාගාරයේ මුදල් පරීක්ෂකයෙකු ලෙස විධායක තනතුරකට තේරී පත්විය. එකල මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ එවකට සිටි ජනාධිපති ප්‍රංශුවා හොලන්ද් ගේ පාසැල් සමයේ මිතුරෙකු වූ ජෝන් පියේ ජුවේය. ප්‍රංශයේ පිළිගත් සිවිල් නිලධාරියෙක් ලෙස ප්‍රංශ ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ ඔහු යටතේ කලක් සේවය කිරීම මැක්රොන්ගේ මූල්‍යමය අංශයේ රැකියාවට ඉහළ අත්දැකීමක් එක් කරන්නක් විය.


පසු කාලීනව මහා භාණ්ඩාගාරයෙන් ඉවත්වී ගිය මැක්රෝන් නැසීගිය හිටපු ජනාධිපති ප්‍රංශුවා මිතොරෝන් ගේ ආර්ථීක උපදේශක ලෙස සේවය කළ ආර්ථීක විශේෂඥයෙක් වූ ජැක් අටාලි විසින් පිහිටුවා ඇති ආර්ථීක කටයුතු පිළිබඳ උපදේශක ආයතනයක උපදේශක තනතුරකට පත්වූවේය. කලක් එම ආයතනයේ ද සේවය කිරීමෙන් පසු එතැනින්ද ඉල්ලා අස්වූ ඔහු ලෝක ප්‍රසිද්ධ කෝටිපතියෙක් වන ප්‍රංශ ජාතික රොක් චිල්ඞ් පවුලට අයත් බැංකු සමූහයක ඉහළම තනතුරකට පත්විය. ඒ අතරතුර ජෝන් පියේ ජුවේ හරහා එවකට ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් මහතාව දැන හඳුනාගැනීමට අවස්ථාව පෑදුණේය. එම හඳුනාගැනීම හේතු කොට මැක්රෝන් ප්‍රංශයේ සමාජවාදී පක්ෂයට එක්වී සාමාජිකත්වය ලබා ගත්තේය. එකල එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළේ ප්‍රංශුවා ඔලොන්ද් මහතාය. 2012 වසරේදී ප්‍රංශුවා ඔලොන්ද් මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු ඔහුගේ උපදේශක වරයෙකු හා ජනාධිපති උප ලේකම් තනතුරට මැක්රොන් මහතා පත් වූවේය. 


මේ අතරතුර වසර 2007 දී මැක්රොන් මහතා තමාට ප්‍රංශ භාෂාව ඉගැන්වූ ආදරවන්ත ගුරුතුමිය සමග විවාහය සිදු කළේය. 


වසර 2014 දී එරට ආර්ථීක කටයුතු පිළිබඳ ඇමැති ආර්නෝ මොන්ට්බෝග් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ආර්ථීක හා කර්මාන්ත ඇමැති ලෙස මැක්රොන් මහතා පත් කරගත්තේය. එකල ඔහු විසින් හඳුන්වා දුන් සමහර ආර්ථීක ප්‍රතිසංස්කරණ ප්‍රංශ සමාජය තුළ විශාල වශයෙන් විවාදයට භාජනය වූයේය. 2015 වසරේදී සමාජවාදී පක්ෂයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කිරීම ආරම්භ කළ මැක්රොන් 2016 අප්‍රේල් මස 06 වැනිදා ඔහු උපන් ගමේදී ප්‍රංශය පෙරට නමින් පෙරමුණක් පිහිටුවා ගත්තේය. ඉන්පසු වසර 2016 අගෝස්තු මස 30 වැනිදා ඔහු සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී පූර්ණ කාලීන දේශපාලනයට පිවිසියේය.


අනතුරුව 2017 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මැක්රොන් පළමු වටයෙන් සියයට 24කද, දෙවැනි වටයෙන් සියයට 65ක ද ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉදිරි වසර පහකට ප්‍රංශයේ නව ජනාධිපති ධූරයට පත්විය.


1958 වසරේදී නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා පත්වන පළමු පුද්ගලයා මැක්රොන් විය. සිය අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව දෙස් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්රෝන් “බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වුණා” යනුවෙන් පැවසීය.


ඉකුත් වසරේ මැයි 07 වැනිදා පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා මරීන් ලපෙන් පරාජයට පත් කරමින් එම්මානුවෙල් මැක්රෝන්  ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් යුරෝපා නායකයන් සතුට පළ කරනු ලැබුවේ මහත් තුටිනි. යුරෝපා හවුලට හිතවත් නව ජනාධිපතිවරයාට මුලින්ම දුරකථනය මගින් ශුභ පතන ලද්දේ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් විසිනි. යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඞ් ජුන්කර් සිය ශුභ පැතුම් පළ කරමින්, ප්‍රංශය ‘යුරෝපීය අනාගතයක් තෝරා ගනු ලැබීම’ සම්බන්ධයෙන් සතුටට පත්වන බව කියා සිටියේය.


ප්‍රංශ ඉතිහාසයේ ළාබාලම ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයට එක්වූ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ට ශුභපැතුම් එක් කළ ලෝක නායකයන් අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ද විය.

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (1)

ලෝක දේශපාලනයේ අලුත් මාතෘකාව එම්මානුවෙල් මැක්රොන්

Priyanka S Wijesinghe Tuesday, 18 September 2018 01:04 PM

මම මේ ලිපිය කීයවෙමි, ස්තුතියි. මක්නිසාද මම ප්‍රංශයේ වෙසෙමි,මගේ රැකියාව ඔබ නියෝජනය කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31053 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13183 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10944 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 20 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 875 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 262 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site