කන් ඇසිමේ දෝෂ තිබෙන පුද්ගලයන්ට කර්ණ ශංඛ බද්ධ නොකර දිව උපයෝගී කරගෙන ශබ්ද තරංග හදුනාගැනිමේ ක්‍ර‍වේදයක් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් විසින් සාර්ථකව අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පර්යේෂණය සිදුකළ පිරිස පවසන්නේ මෙමගින් කන මගහැර කෙළින්ම මොළයට සංඥා යැවීමට හැකියාව ලැබෙන බවයි. මේ සදහා යොදාගෙන ඇත්තේ බ්ලූ ටූත් තාක්ෂණයයි. බ්ලූටූත් සංවේදන උපකරණයක් මගින් ශබ්දය හදුනාගෙන එය කුඩා විද්‍යුත් ස්ඵන්දක වශයෙන් ඉලෙක්ට්‍රෝඩ රැසක් ඇති ධාරකයකට යවයි. එම ධාරකය දිවට තදකළ විට අසන්නාගේ දිවට ඒ ස්ඵන්දක දැනෙයි. එමගින් මොළයට ශබ්දය ඇසෙන බව පර්යේෂකයෝ කියති.