IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සමිති බලධාරින්ගේ ගැටුම අසරණ දරුවන්ට සාපයක්

පාසල් සිසුන්ට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම වර්ජනය කිරීම, පුවත්පත මුද්‍රණය කරන අස්ථාව වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මකව පැවැතුණි. රජයේ පාසල්වල සහ කතෝලික පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් හා රාජකාරි කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින හතරකි. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ආණ්ඩුව කරන මර්දනකාරී වැඩපිළිවෙළ නතර කරන තුරු ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෘත්තීය අයිතිවාසිකමකි. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වූ විට සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත්, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සටන බෙහෙවින් සංවේදීය. මන්දයත්, එයට බිලිවන්නේ රටේ අහිංසක දරුවන් වීමය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් යොමු කිරීමට සිසුන් සහ දෙමාපියන් පාසල්වලට ගිය නමුත්, ඇතැම් පාසල් වසා තිබුණු හෙයින් ඔවුන්ට හිස් අතින් නිවෙස්වලට යාමට සිදු වූ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට විදුහල්පතිවරුන් පිරිසක් ද එක් වී සිටින හෙයින්, උසස් පෙළ සිසුන්ගේ සහ පහ ශිෂ්‍යත්ව සිසුන්ගේ විභාග අයැදුම්පත් බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මෙරට දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී වසරකටත් වඩා වැඩි කලක් ඉක්ම ගොසිනි. කොරෝනා මාරාන්තික වයිරසය පැමිණි පසු වරින් වර පාසල් විවෘතව තැබුව ද එය විධිමත් අධ්‍යාපනය නොවීය. කොරෝනා අලුත් අවුරුදු පොකුරු රට පුරා බිහි වීමත් සමග රට පුරාම පාසල් වසා දැමුණි. ප්‍රශ්නයට පිළිතුර ලෙස ආදේශ වූයේ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා එයට ද බලවත් බාධාවක් වී තිබේ.

රටක අධ්‍යාපනය බිඳ වැටීම එම රටේ පැවැත්මට දිගු කාලීනව බලවත් හානියකි. එහි බලපෑම කොතෙක් ද යන්න ගණනය කළ නොහැකිය. එසේ බලන විට කොරෝනා මාරාන්තික වයිරසයේ බලපෑම අද නොව හෙට දැක ගැනීමට ලැබෙන්නකි. එම තත්ත්වය හැකිතාක් දුරට අවම කරගැනීමට සියල්ලන්ම යහමින් දායක විය යුතුය. එහෙත් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීමක් බඳුය. ගුරු අයිතිවාසිකම් සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අපි කිසිත් නොකියමු. මෙහිදී ආණ්ඩුව සහ වෘත්තීය සංගම් දරුවන් ගැන සිතා ක්‍රියා කරන්නේ නම් එය අගය කොට සලකන්නෙමු.

මෙරට සාතිශය බහුතරයක් වන දුගී දරුවන් සතු පරම ධනය අධ්‍යාපනය වේ. තමන් පෙළෙන දහසක් අසරණකම්වලින් මිදුණු ජීවිතයකට මඟ වැටී ඇත්තේ අධ්‍යාපනය තුළින් බව දරුවෝ දනිති. ලොව දිනන්නට වෙනත් මඟක් නැති බව ඒ දරුවෝ හොඳින්ම අවබෝධ කරගෙන සිටිති. එහෙයින් ඒ සම්බන්ධයෙන් නිර්බාධක පරිසරයක් පැවැතිය යුතුය. එහෙත් අපගේ දරුවන්ට නැත්තේ ද එබඳු පරිසරයකි. ලොව හොඳම දේ දරුවන්ට යැයි කීව ද අප දරුවන් ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත්ව සිටින බව පිළිගැනීමට සිදුවන්නකි.

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ඇති අයිතිය අවිවාදාත්මකව පිළිගන්නා දෙයකි. එහෙත්, ඒ සඳහා පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීම අනුමත කළ නොහැකිය. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සටන තුළ ප්‍රාණ ඇපකාරයන් බවට පත්ව සිටින්නේ අහිංසක දූ පුතුන්ය. මෙම සටන් මාදිලිය වූ කලී ප්‍රභාකරන් විසින් අත්හදා බැලූ එහෙත් ප්‍රතිඵල ගෙන නොදුන් සටන් මාදිලියකි.

ප්‍රභාකරන් ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව සටන් කළේ උතුරේ හා නැගෙනහිර නිරායුධ අහිංසක දෙමළ ජනයා පළිහක් කරගෙනය. එහෙත්, අවසානයේදී එම ජනයා ප්‍රභාකරන්ට එරෙහිව නැගී සිටියහ. ප්‍රතිඵලය වූයේ වෙල්ලමුල්ලි වයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමකදී මරු වැළඳ ගැනීමට ප්‍රභාකරන්ට සිදුවීමය. සටන්කරුවන්ට ජනතා සහාය යනු මාළුවාට වතුර මෙනි. වතුර නොමැතිව මාළුවාට පැවැත්මක් නොමැතිවාක් මෙන්ම, ජනතා සහාය නොමැතිව සටන් ජයග්‍රහණය කළ නොහැකිය. ජාතියේ අනාගතය වන දූ පුතුන් ප්‍රාණ ඇපයට ගෙන කරන සටන්වලට ජනතාවගේ අශිර්වාදය සහ සහයෝගය නොලැබීම ඒකාන්තය. එසේම ආණ්ඩුවට ද වෘත්තීය සංගම්වලට වරද පටවා අත පිසදාගත නොහැකිය. ප්‍රශ්නය විසඳීම සඳහා මාර්ග සොයා ගැනීම ආණ්ඩුවේ ද වගකීමකි.



අදහස් (2)

සමිති බලධාරින්ගේ ගැටුම අසරණ දරුවන්ට සාපයක්

සමන් විමලධර්ම Friday, 16 July 2021 12:32 PM

නිවැරැදි මග පෙන්වා දීමක් හා පහදා දීමක්.... ස්තුතියි.

:       2       0

sunil Friday, 16 July 2021 05:54 PM

ඔන්ලයින් නැතුව, රූපවාහිනි නාලිකා වැඩි කොට, කාලය පුළුල් කොට, වඩාත් පුළුල් රුපවාහිනි තිරය හරහා මේවා විසුරුවන්නේ නැත්තේ ඇයි? එතකොට දරුවන්ට සහ දෙමව්පියන්ට සෑම අතින්ම පහසු වුණත්, දුර සන්නිවේදන මුදලාලි ජංගම සහ දුරකතන මුදලාලි අඩු ලාභයක් ලබන නිසාද? අද සුහුරු දුරකතනයක් (smart phone) රූපවාහිනියකට වඩා මිලයි. ගම්බද නිවාස කිහිපයකට හෝ එක රූපවාහිනියක් ඇත. සංඥා ද ප්‍රබලයි. එක පන්තියේ ළමයින් කිහිපයකට වුණත් එකට සහභාගි වී නැරඹිය හැකිය. මේවා ගැන නොසිතා ජනතාව පෙළන්නේ ඇයි? වියත් මග තිබුණාට වියත් වැඩ නැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 842 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1269 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site