කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවීම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙහි මූලික පියවරක් ලෙස ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කොවිඩ් 19 සම්බන්ධිකාරක සෞඛ්‍ය අමාත්‍යශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන් වෙයි. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩුවී රට කොරෝනා රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණීම මෙම තීරණයට හේතුවී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
මරණ භීතියෙන් ඇළලී ගිය සමාජයට සැනසුමක් සිසිලසක් රැගෙන එන ප්‍රවෘත්තියකි. දහතුන් දහසකට අධික පිරිසක් කොවිඩ් උවදුරෙන් මිය ගියහ. ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් ආසාදිතයෝ වූහ. ඊළඟ බිල්ල කවුරුන් විය හැකිදැයි යන දෙගිඩියාවෙන්, භීතියෙන් කල්ගත කිරීමට ජනතාවට සිදුවිය. එම ශාපලත් පරිසරය තුළ ඉහත ප්‍රවෘත්තිය සුභාරංචියකි.
වරදවා වටහා නොගත යුතු කාරණා රැසකි. අප රට කොරෝනා රතු කලාපයෙන් කොළ කලාපයක ඇතුළුවීම යනු නරක වසංගත තත්ත්වයෙන් මුළුමනින්ම නිදහස්වීම නොවේ. යළිත් වරක් මාරක වසංගතය නව වටයකින් රළ ගසා මහා ප්‍රවාහයක්ව පැමිණිය හැකිය. එසේ වන්නේද? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ ජනයාමය. පවතින තත්ත්වයත් එළඹිය හැකි අනතුරුදායක තත්ත්වයක් සැලකිල්ලට නොගෙන අවිචාරවත් හා අශිෂ්ට ලෙස හැසිරීමට යමකු කටයුතු කළහොත් එය කොරෝනා මාරක වසංගතයට පාවාඩ එළීමක් වනු නියතය.
අප පුවත්පතට ප්‍රකාශයක් කරමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපතී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණ ද සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්ත්වයක් ඇතිවනු ඇති බවය. ඇතැම් රටවල කොරෝනා වසංගතය යළිත් හිස ඔසොවන බවත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට සියලු දෙනා වගබලාගත යුතු බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
ජනතාව මෙම කාරණා මනාව වටහාගත යුතුය. රතු කලාපයේ සිට අප රට කොළ කලාපයට පිවිසියේ අහම්බයෙන් නොවන බව මතක තබා ගත යුතුය. මෙම අනගිතම ජයග්‍රාහී පියවර නිර්මාණය කර ගැනීමට අප රට සමත් වූයේ මානව ගුණයෙන් පිරුණු තම ජීවිතයට එල්ල විය හැකි අනතුර නොසිතා අන්‍යයන්ගේ ජීවිත වෙනුවෙන් කැපවුණ සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල අනුපමේය පිහිටෙනි.
ඔවුන් තම සේවය නොපිරිහෙළා ඉටු නොකළේ නම් මේ රට විසාලා මහනුවරක් වීමට ඉඩ තිබිණි.
සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් කවරාකාර කැප කිරීමක් පරිත්‍යාගයක් කළ ද එයට මහ ජනයාගෙන් අවංක දායකත්වයක් සහයෝගයක් නොලැබුණේ නම් එම කැපවීම් පරිත්‍යාග ගඟට කැපූ ඉනි මෙන් අපතේ යාමට ඉඩ තිබිණි. සැබැවින්ම පෞද්ගලික ජීවිතයේ කුදු මහත් අවශ්‍යතා සීමා කර ගනිමින් දැඩි අකාරුණික තත්ත්වයක් යටතේ වුවද ජනතාව ඉවසූහ. ජීවිතයේ සමීපතමයකු මියගිය විට ඔහුට සමුදෙන ආකාරයක් අපගේ සංස්කෘතියේම කොටසක්ව තිබිණි. යළිත් නොදකින තම සමීපතමයාට ගෞරවනීය සමු ගැනීමකට කොරෝනා මාරක වසංගතය ඉඩ නුදුන්නේය. එහෙත් සම සිතින් මෙරට ජනයා එය ඉවසුහ. ජීවිතයේ අසිරිමත්ම මොහොතවන මංගල උත්සවයේ අසිරි සිරිය සීමා කිරීමට සිදුවිය. එහෙත් මෙත් සිතෙන් එය දරා උසුලා සිටියහ.
ජනයාගේ මෙම කැප කිරීම් සහ පරිත්‍යාග අපතේ ගොස් නැත. නියත ප්‍රතිඵල ලැබී තිබේ. එම කැපකිරීම් හා පරිත්‍යාග නිසා ඔවුන්ගේ මෙන්ම අනුන්ගේ ද ජීවිත ආරක්ෂාවී තිබේ. රළ ගසමින් තිබූ කොරෝනා වගුර වියැකී යමින් තිබේ. රට රතු කලාපයේ සිට කොළ කලාපයට සේන්දුවී තිබේ. ඒ වෙනුවෙන් දායක වූ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව දිවි ගෙවූ සකල ජනී ජනයාටම මේ මොහොත වඩාත් ප්‍රීතිමත් ආනන්දජනක මොහොතකි. ඉදිරි කැප කිරීම් හා පරිත්‍යාග සඳහා මෙම මොහොත ශක්තියක් බවට පරිවර්තනය කර ගත යුතුය.
තෝරාගත් පාසල් මෙම මස 21 වැනිදා ඇරැඹීමට නියමිතය. දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ද ඉදිරියේ දී ඉවත්වීමට නියමිතය. එයින් කියැවෙන්නේ රට යළිත් මුළුමනින්ම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නියමිත බවය. අනතුර සැඟව තිබෙන්නේ එතැනය. දැනට සීමා වී පවතින වසංගත උවදුර වේගවත් ව්‍යාප්තියකට මෙය හේතුවක් විය හැකිය. එහෙයින් එළැඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරීම සියලු දෙනාගෙම වගකීමකි.
කොරෝනා යනු වසංගත තත්ත්වයක් පමණක්ම නොවේ. මෙය සෑම ක්ෂේත්‍රයකටම බලපාන තත්ත්වයකි. විශේෂයෙන්ම සමාජයේ පැවැත්මට ප්‍රධාන වශයෙන් ඉවහල් වන ආර්ථික ක්ෂේත්‍රයට දැඩිව බලපෑමකි. රටවල් වසා දැමීම යනු රටට ආර්ථික සම්පත් ගලා එන සෑම මං මාවතක්ම අහුරා දැමීමකි. එහි බලපෑම අප රටට තදින් දැනී තිබේ. තිබෙන ආර්ථික පරිසරය තුළ ජීවත් වන්නේ කෙසේද? යන්න පිළිබඳව මතුව එන ප්‍රශ්නය මග හැර යා නොහැකිය. රැකී රක්ෂා අහිමිවීමේ සිට දහසක් ප්‍රශ්නවලට උත්තර අලුතෙන් සෙවීමට බොහෝ දෙනකුට සිදුවී තිබේ.
මෙම සියලු ප්‍රශ්න නිරාකරණය කරගත හැකි වන්නේ රට පෙර තිබු සාමාන්‍ය තත්ත්වයට පත් වීමෙන් පසුවය. ප්‍රශ්න එකින් එක ලෙහාගත හැකි වනු ඇත්තේ එමගිනි. මෙම තත්ත්වය තේරුම් ගත යුතුය. රටට එළැඹ ඇති සන්සුන් සංහිඳියාව වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. මෙම තත්ත්වය තවදුරටත් උස් මහත් කර ගනිමින් පවත්වාගෙන යා යුතුය. නැතහොත් කුණු බක්කි අවුස්සන් කන රටක් නිර්මාණයවීම වැළැක්විය නොහැකි වනු ඇත.
(***)
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම
මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාව
ශ්රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛ
අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රතු එළියෙන් කොළ එළිය විනාශයක් නොකරගනිමු