
රටේ පවතින වර්තමාන ආර්ථික සහ සමාජීය ගැටලු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ විවිධ අදහස් පළ කරති. වැඩ කරනවාට වඩා කතා කිරීමට දක්ෂ දේශපාලනඥයන්ගෙන් සපිරි රටක් වන ශ්‍රී ලංකාව ගැන විපක්ෂයේ පිරිස අසුබවාදී අදහස් පළ කරන අතර ආණ්ඩු පක්ෂ මැති ඇමැතින් දකින්නේම සුබවාදී පැත්ත පමණි. එය රටේ සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් එයින් පිට පැන ආණ්ඩු පක්ෂය ඇතුළේ සිටිමින් රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ අදහස් දක්වන මැති ඇමැතිවරු ද වෙති. එවැනි විශේෂ අවස්ථාවක් අපට පසුගිය දා අසන්නට දැකගන්නට ලැබිණි.
හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ නියෝජ්‍ය ඇමැතිවරයකු වන වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය හොබවන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පොල්ගහවෙල දී පැවැති උත්සව අවස්ථාවක දී මේ අදහස් කියා දැම්මේය. ඔහු ප්‍රධාන වශයෙන් පෙන්වා දී තිබුණේ ආසියානු රටවල් පවා වේගයෙන් දියුණු වන කාලයක දී අපේ රට තවමත් අඳුරේ අතපත ගාමින් සිටින බවය. රටේ ආර්ථික දියුණුව ඇති කරන්නේ කෙසේදැයි යන්න කිසිවකු හෝ සාකච්ඡා නොකරන බවය.
අනුර යාපා මහතා කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් සිටි අවදියේ දී මේ කරුණු ටික ප්‍රකාශ කර තිබුණා නම් එහි වටිනාකම මීටත් වඩා වැඩිවන බව කිව යුතුය. රටේ දියුණුව, ආර්ථික සංවර්ධනය පිළිබඳව ප්‍රධාන වශයෙන් තීරණ ගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය බැවිනි. එහෙත් අනුර යාපා මහතා රජයේ මන්ත්‍රීවරයකු වශයෙන් පෙන්වා දෙන්නේ අපේ රටේ ආර්ථික දියුණුව ඇති කරන්නේ කෙසේද? යන්න අප සාකච්ඡාවට බඳුන් නොකරන බවය. කොතරම් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් සිටියත් රට දියුණු කරන ආකාරයක් ගැන ඔවුන් කතා නොකරන බව ද වෘත්තීය සමිතිවලට උවමනා අන්දමට කතා කිරීමෙන් පමණක් රටක් දියුණු කළ නොහැකි බව ද ඒ මහතා පෙන්වා දෙයි. රටකට දියුණු විය හැක්කේ නවීන පාලන, කළමනාකරණ මෙන්ම නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගැනීමෙන් පමණක් බවත් සෙසු බොහෝ දේ හුදු මනංකල්පිත පමණක් බවත් ඔහු කියයි.
ආණ්ඩුව ඇතුළේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු විසින් සිදු කෙරුණු මේ කතාව රටේ සියලු දෙනාගේම ඇස් අරවන කතාවක් බව අපගේ අදහසය. රටේ නිදහස දිනාගැනීමේ අසිරිය, පෞඪ ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳ පම්පෝරි ගසමින් බොහෝ කරුණු පිළිබඳ අපට ඇති තරම් කතා කරමින් සිටිය හැක. එයින් මතුවන ශ්‍රී විභූතියෙන් මන්මත් වී ඒ පිළිබඳ වචන හරඹ මන්තරයක් සේ ජප කරමින් ජනතාව මුළාවේ දැමිය හැකිය. එහෙත් ඒවායින් රට දියුණු වන්නේ නැත. රටක් දියුණු කිරීම ක්‍රමානුකූලව නවීන තත්ත්වයට ගැළපෙන සේ සකස් කර ගන්නා සැලසුම්වලට අනුකූලව සිදුවිය යුතුය. ගල් යුගයේ යන්ත්‍රෝපකරණ ගැන කතා කරමින් ගොවියා හැමදාම නගුලේ වහලකු කර තැබීමෙන් අපට රටක් වශයෙන් ලබාගත හැකි දියුණුවක් නැත. මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතු කාලයක අප සිටින බව අනුර යාපා මහතාගේ කතාවේ හරයයි.
අපි අපේ රට දියුණු කළ හැකි මාර්ග සෙවීම පිළිබඳ සාකච්ඡා පසෙක තබා දේශපාලන කාරණා පිළිබඳව දශක ගණනාවක් තිස්සේ කතා කරමින්ම සිටින්නෙමු. මේ වැරැද්දට දැනට සිටින රජය සහ විපක්ෂය පමණක් නොව මීට පෙර සිටි ආණ්ඩු සහ විපක්ෂ ද එක හා සමානව වගකිව යුතුය. දේශපාලන කාරණා මුළුමනින්ම අමතක කොට කටයුතු කළ යුතු යැයි අප කියන්නේ නැත. එහෙත් රටේ දියුණුව සම්බන්ධ සාකච්ඡාවලට රජය තුළ ප්‍රමුඛත්වය ලැබිය යුතුය. එම සාකච්ඡා සඳහා දේශපාලනඥයන් පමණක් නොව රටේ ඒ ඒ විෂයන්ට අදාළ විද්වතුන් සහභාගි කරවා ගැනීම ද අවශ්‍යය.
පසුගිය දශකය තුළ ආර්ථික දියුණුව කරා වේගයෙන් ගමන් කළ ආසියානු රටවල් එම තත්ත්වයට ළඟා වූයේ කෙසේදැයි අධ්‍යයනය කිරීමෙන් පවා උගත හැකි පාඩම් බොහොමයක් තිබෙන බව අපගේ විශ්වාසයයි. අපේ රට දියුණුව කරා ගෙන යා හැකි මාර්ග හඳුනාගෙන එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුමින් සන්නද්ධ පිරිස්වල සේවය ලබා ගැනීමට ආණ්ඩුව තුළ ක්‍රමවේදයක් තිබිය යුතුය. එම ක්‍රමවේදයට අකුල් හෙළන පිරිස් රජය තුළ සිටි නම් ඔවුන්ට සැබෑ තත්ත්වය පහදා දී රට ගෙන යා යුතු මග පිළිබඳව අවබෝධ කර දීම වැදගත් වනු ඇත. පක්ෂවල ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්තිවලට වඩා ඉහළින් තබාගනිමින් රටේ පොදු මහජනතාව සහ වෘත්තීය සමිති ඇතුළු විවිධ සංවිධානවල වීරයන් වීමට දත කන දේශපාලනඥයන්ට යටවීමෙන් ආණ්ඩුවකට රට වෙනුවෙන් දිනා දිය හැකි දෙයක් නැත.
රටේ ජනතාව විශාල ජනවරමකින් මේ රජය බලයට පත් කළේ මහත් බලාපොරොත්තු තබාගෙන බව අමතක නොකළ යුතුය. ඔවුහු රටේ පාලනයේ සැබෑ වෙනසක් අපේක්ෂා කළහ. පරණ අදහස්ම කරපින්නාගෙන යන ගමනක් ඔවුන් මේ රජයෙන් බලාපොරොත්තු වන්නේ නැත. වත්මන් ලෝකයේ සෙසු රටවල් සමඟ දියුණුවේ අත්වැල් බැඳගනිමින් ඉදිරියට යන රටක් ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. එම ප්‍රාර්ථනා ඉටුකිරීමට අවශ්‍ය වන්නේ අලුත් අදහස් සහ සම්ප්‍රදායයන්ය. එවැනි ‘‘යූ ටර්න්’’ එකක් නොගතහොත් අප රට නිදහස ලබාගැනීමේ 100 වැනි සංවත්සරය ද මහත් අභිමානයෙන් යුතුව සමරනු ඇත්තේ තවමත් දියුණු වෙමින් පවතින අඳුරු රටක් හැටියට මිස දියුණු වූ සෞභාග්‍යවත් රටක් හැටියට නම් නොවන බව ඉතාම පැහැදිලිය. එයට ඉඩ දී බලා සිටිමු ද?
(***)
COMMENTS
පළමුව කිව යුත්තේ "අප රටේ කිසිඳු පක්ෂයක දේශපාලඥයන් නොමැති" බවයි. සියලුම පක්ෂවල ඉන්නේ තමන් උපන් මව්බිම විනාශ කරන "දේශපාලුවන් පමණක්" බව කීමට කැමැත්තෙමු. දේශපාලඥයින් යනු තමන් උපන් මව්බිමේ දියුණුව, ආරක්ෂාව වෙනුවෙන්, පුරවැසියන්ගේ දියුණුව වෙනුවෙන් "දුරදිග බලා ඥාණාන්විතව" ඍජු තීන්දු තීරණ ගන්නා බුද්ධිමත්, නිහතමානී අවංක පුරවැසියන්ටයි. අප රටේ කිසියම් හෝ පුරවැසියෙක් මෙම අදහස් කියවන්නේ නම් ඒ ගැන ඇසීමට කැමැත්තෙමු. ඉහත සඳහන් ගතිගුණවලින් හේ මනුස්සයකු දියවන්නාව පට්ටියෙන් 225 අතුරෙන් සොයා ගැනුමට හැකිද? අප තරයේ විශ්වාස කරනවා 225 ම දේශපාලුවන් බව...
පුළුවනි. අවස්ථාවාදී දේශපාලකයන් තොලොංචි වී ගිය දවසක..!!!
ඇයි රවීන්ද්‍ර ජනතාව. දේශපාලකයින්ගේ හැටි දැන දැන පොඩි රජයේ ජොබ් එකක් ගන්න. ගෙවල් ළඟ පාරට තාර දාගන්න. ළමයාව ඉස්කෝලෙකට දාගන්න... මව් බිම පාවා දීලා රට දේශපාලුවන්ට පූජා කරන ජනතාව..
මොන අන්ධකාරයක්ද?
ලංකාවේ ඡන්ද දායකයන් හැදෙන්නේ නැතිව දේශපාලකයන්ව හදන්න බැහැ. ජාතිවාදය තිබ්බොත් ඇති රටට... හෙණ ගැහුවත් කමක් නැහැ... කියන තියරිය තමයි..