
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මේ දිනවල සාකච්ඡා වෙමින් තිබේ. එම යෝජනාව ගෙන ඒමට පිඹුරුපත් සැකසූ කණ්ඩායම වෙනුවෙන් එය ජිනීවාහි මානව හිමිකම් කාර්යාලයට බාර දෙනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යය මගිනි. පසුගිය සතිය අවසාන වනවිට රටවල් 40කට අධික සංඛ්‍යාවක විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් අදාළ යෝජනාව සම්බන්ධයෙන් තම රට රාජ්‍යවල ස්ථාවරය පැහැදිලි කර තිබිණි. එම යෝජනාව ඡන්දය විමසීමකට යොමුකරනු ඇතිදැයි ඉදිරි දිනවල දී තීරණය වීමට නියමිතය.
අදාළ යෝජනාවට පදනම් කරගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලේ විසින් සම්පාදනය කරන ලද වාර්තාවයි. මේ වාර්තාවේ අන්තර්ගතය සහ ඊට අනුකූලව ගනු ලැබීමට යෝජිත පියවර පිළිබඳව කල්තබාම බැචලේ අනතුරු ඇඟවීමක් කර තිබිණි. එම වාර්තාවේ ශ්‍රී ලංකාවේ යුද්ධය හා සම්බන්ධ මානව හිමිකම් කඩ කිරීම්වලට වගවිය යුතු නිලධාරීන්ට එරෙහිව ගනු ලැබීමට අපේක්ෂිත පියවර අතර සංචාරක සම්බාධක පැනවීම් සහ දේපළ තහනම් පිළිබඳව ද සඳහන් විය. කෙසේ වුවද ශ්‍රී ලංකාවට එරෙහිව මේ ආකාරයට තම ඇඟිල්ල ඔසවන මහා බ්‍රිතාන්‍යයත් අමෙරිකාවත් තමන්ගේ රටවල් වෙනුවෙන් නීති විරෝධී යුද ගැටුම්වලට යොමු කෙරුණු සොල්දාදුවන්ගේත් නිලධාරීන්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇත්තේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට බව ප්‍රසිද්ධ රහසකි.
ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරනලද කරුණු ඉදිරිපත් කිරීමේදී මේ කාරණා කෙරෙහි අවධානය යොමුකර තිබිණි. කෙසේ වුවද මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව සැකසීමේ දී ඒක පාර්ශ්වීය වශයෙන් රැස් කරගත් කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව හොඳින්ම පෙන්වා දෙන උදාහරණ දෙකක් තිබේ. යුද්ධය අවසන් කාලයේ දී කොළඹ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක තොරතුරු නිලධාරියා සපයා තිබූ වාර්තාව ඉන් එකකි. ලුතිනන් ඇන්තනී ගේෂ් නම් එම නිලධාරියාගේ වාර්තාව අනුව 2009 ජනවාරි 01 සිට මැයි මාසය දක්වා කොටින්ද ඇතුළුව මියගිය පිරිස 7000කට අඩු බව තහවුරු කර තිබිණි. එසේ වුවද ඒ කාලයේ සිටි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බන් කී මූන් එවකට සකසා තිබූ වාර්තාවේ සඳහන් වන්නේ අදාළ කාලය තුළ සිවිල් වැසියන් ඇතුළු 40000 කට අධික පිරිසක් මියගොස් ඇති බවය. එහෙත් එවකට කොළඹ සිටි ඇමෙරිකානු තානාපති කාර්යාල ආරක්ෂක තොරතුරු නිලධාරියා වූ ලුතිනන් කර්නල් ලොරන්ස් ස්මිත් ද තම වාර්තාවේ සඳහන් කර ඇත්තේ මරණ සංඛ්‍යාව 7000ක් බවය. මේ සංඛ්‍යා ලේඛන පරස්පරයෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙනම හඬකින් කතා කිරීම හැර වෙන කුමක්ද?
අද ශ්‍රී ලංකාවට එරෙහිව මානවහිමිකම් කඩකළ බවට චෝදනා එල්ල කරන මහා බ්‍රිතාන්‍යයත් අමෙරිකාවත් ඉරාක ආක්‍රමණයේ දී තමන්ගේ රටවල හමුදා නිලධාරීන් අතින් සිදු වූ දරුණු ගණයේ මානව හිමිකම් කඩවීමේ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා මේ වනවිට තමන්ගේ රටවල විශේෂ නීති රීති පවා සම්පාදනය කරගෙන තිබේ. ඉරාකය ආක්‍රමණය කරමින් සිදුකළේ නීති විරෝධී යුද්ධයක් බවට සුප්‍රකට චිල්කොට් වාර්තාවෙන් හෙළි කිරීමෙන් පසුව මහා බ්‍රිතාන්‍යය කළේ එම වාර්තාව මානව හිමිකම් කොමිසමට යොමුකිරීම නොවේ. තම හමුදා නිලධාරීන් ගලවා ගැනීම සඳහා අණ පනත් සම්මත කරගැනීමය. තම රටේ කිසිම හමුදා නිලධාරියකු අධිකරණය ඉදිරියට පැමිණ වීමට ඉඩ නොතබන බවට එරට අගමැතිවරුන් වරින්වර ප්‍රකාශ කළේ ඒ අනුව යමිනි. ඔවුන්ගේ ප්‍රකාශවලින් පසුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බවය. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාවේ එක් නිර්දේශයක් වන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනාවලට ලක්වූ නිලධාරීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු බවය. මෙය රාජ්‍ය තාන්ත්‍රික මූලධර්ම පවා අමු අමුවේ උල්ලංඝනය කරන අසාධාරණ සහ අයුක්ති සහගත දෙබිඩි ප්‍රතිපත්තියක් බව පුන පුනා කිව යුතු නොවේ.
මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරිපත් වන අවසන් සංශෝධිත යෝජනාවට ඇතුළත් වන කරුණු මොනවාදැයි තවම තහවුරු වී නැත. එහෙත් ජාත්‍යන්තර භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ඇමෙරිකාව මහා බ්‍රිතාන්‍යය ඇතුළු බලවත් රටවල් දෙබිඩි රංගනයක යෙදී සිටින බව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වෙයි. එවැනි ප්‍රතිපත්තියක සිටිමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන අරගලවල දී තමන් ද සහාය දක්වන බවට බලවත් රටවල් කරන ප්‍රකාශ මහා විහිළුවකි. ලොව භයානකම ත්‍රස්තවාදය අවසන් කළ ශ්‍රී ලංකාවේ හමුදාවලට එරෙහිව චෝදනා නැගීමත් මහා බ්‍රිතාන්‍යය ඇතුළු බලවත් රටවල් එවැනි චෝදනා එල්ල වූ තම හමුදා බේරා ගැනීමට නොපැකිලිව ඉදිරිපත් වීමත් පෙන්වාදී ඇත්තේ එම කටුක යථාර්ථයයි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ද? සමගි ජන බලවේගයේ පුතාණෝගේ පක්ෂයද? උත්තර බඳින්නේ නැත.
මහා බලවතුන් කළ යුද්ධ කිසිවක් මෙතෙක් නිමාවී නැත. ඉරාකයේද, ඇෆ්ගනිස්තානයේ ද, සිරියාවේ ද ඇති කළ මෑතකාලීන යුද්ධ හොඳම උදාහරණයන්ය. ඒවායින් පරාජය ලැබුවේ ද, හෙම්බත් වූයේ ද එම මහා බලවතුන්මය.. එනයින් බලන කළ අප රටේ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම ඔවුන්ට දරා ගැන්මට නොහැකිය. අපේම යුද විරුවන් පාවා දීම පසුගිය රජය නොකර තිබුණා නම් තත්වයෙන් මෙතරම් අමාරු නොවන්නට ඉඩ තිබුණා. පලිගැන්මට යොදනා කාලය යෙදවිය යුත්තේ සංහිඳියාව ඇති කිරීමටය.
ඇයි මේ බොරු ජනගත කරන්න හදන්නේ? එහෙම ඔය කියන විදිහේ දෙබිඩි පිළිවෙතක් නෑනේ..! ඇත්ත කතන්දරේ තමයි ඒ අදාල රට වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් ලබාදීමට අපොහොසත් නම්, ජාත්‍යන්තර සමාජයට ඒ සඳහා මැදිහත් වෙන්න අයිතියක් තියෙනවා. නැත්නම් ස්වභාවධර්මය පවා කිපෙනවා. බොරු තර්ක වලින් යුක්තිය යටපත් කරන්න බෑ. එය රටේ ඉදිරි ගමනට බාධාවක්. අනික මිෂෙල් බැචලේ කියන්නේ මේ දිනේෂ් ගුණවර්ධන කියන තාලේ චරිතයක් නෙමේ. සැල්වදෝර් අයන් දේ වගේ ප්‍රගතිශීලී පාලකයෝ හිටපු රටක් වන චිලීයේ දෙසැරයක්ම හිටපු ජනාධිපති... අපි අපේ රටට ආදරෙයි නම් රැකගත යුත්තේ රට මිසක් අපරාධකරුවන් නොවේ. යුද්ධය සහ අපරාධ යනු එකක් නොවේ දෙකකි...
මොකක්ද මේ ලංකාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක වෙනවා කියන්නේ?
එක්සත් ජාතීන්ගේ සංවිධානෙට කවුද ජාත්‍යන්තරේ කියන්නේ..? ඒක බළල් අතක්නේ..
කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ නායකතුමන්ලා විදුලි පුටුවට වුණත් රට වෙනුවෙන් වුණත් යනවා කියලා තියෙන්නේ.
යුද ජයග්‍රහණය පිළිබඳ නොමැකෙන වෛරයකින් පසුවන බටහිර රටවල් අප රටට එරෙහිව අඛණ්ඩව ගෙන එන යෝජනාවලියක් මේක... අප කළ යුත්තේ මේ තත්ත්වයට මුහුණදීමට සුදුසු යාන්ත්‍රණයක් සකසා ගැනීමයි.
අපේ රටට වින කරන පාලකයන්ගේ දෙබඩි පිළිවෙත ගැන කතා කරන්න කවුරුවත් නැහැ.