අතුරු මැතිවරණ පුරාණයෙන්

6 වැනි උප කොටස යටතේ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදට හසුකරනු ලැබුවෙකුගේ වරද ඉන් අහෝසි නොවීමයි. ඇපැල්කරු වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය වූයේ නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදට හසුකරනු ලැබීම නිසා මැතිවරණයට ඉදිරිපත් වීමට තමා නුසුදුසු යැයි තීරණය කළේ නම් එය “අසංගතියක්” වේය යන්නයි. 1956 ආඥා පනතේ භාෂාව ඉතා පැහැදිලිය. ඒ පිළිබඳව කළ හැක්කේ එකම විග්‍රහයකි.
ඊනියා “අසංගතිය පැන නගින්නේ විග්‍රහයෙන් නොවේ. ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී පාවිච්චි කරන ලද භාෂාවේ අර්ථය අනුවය.” (තොරතුරු මූලාශ්‍රය - දිනමිණ 1957.06.08.) තීන්දු ප්‍රකාශයෙන් ඉක්බිති රාජරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වැලිමඩ ආසනයට තේරී පත්වීම අවලංගු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාණ්ඩුකාරවරයා වෙත දන්වා යවනු ලැබීය. ඉන්පසු, වැලිමඩ ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීම ප්‍රකාශයට පත් කෙරිණ. 


අග්‍රාණ්ඩුකාර කාර්යාලයෙන් නිකුත් කළ නිල නිවේදනයට අනුව අතුරු මැතිවරණය 1957.09.07 දිනට නියම කර තිබූ අතර නාම යෝජනා භාර ගැනීමේ දිනය 1957.07.31 වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණි. නියමිත දිනයේදී අපේක්ෂකයෝ තිදෙනෙක් නාම යෝජනා පත්‍ර භාර දුන්හ. මෙම අතුරු මැතිවරණයේදී පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ තරගයට ඉදිරිපත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. නාම යෝජනා පත්‍ර භාරදුන් තිදෙනාම ඉදිරිපත් වී සිටියේ ස්වාධීන අපේක්ෂකයින් වශයෙන්ය.


කුසුමා රාජරත්න මහත්මිය වැලිමඩ ආසනයට තරග කළ ප්‍රථම කාන්තාව වූවාය. ඇය හිටපු මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ බිරිඳය. ඊළඟ අපේක්ෂකයා වූ ඇම්. බී. ඒ. ජයසුන්දර මහතා රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු ද, උඩ පළාත ගම් කාර්ය සභාවේ සභිකයෙකු ද විය. තෙවැන්නා වූ කේ. ඒ. දල්පතාදු මහතා මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විය. හෙතෙම කලින් රත්නපුර සීවලී විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ධුරය දරා ඇත. 


රාජරත්න මහත්මියත්, ජයසුන්දර මහතාත් “අත” සලකුණ ඉල්ලා සිටීමේ හේතුවෙන් එය බේරුම් කිරීමට  කුසපත් ඇදීමට සිදුවිය. පසුව රාජරත්න මහත්මියට “කරත්ත රෝදය” ලකුණද, ජයසුන්දර මහතාට “අත” ලකුණද වෙන් කෙරින. “අලියා” කේ. ඒ. දල්පතාදු මහතාට හිමි ඡන්ද සලකුණ විය. පාලක ම.එ.පෙ. අපේක්ෂකයෙකු ඉදිරිපත් කොකරන නිසාත්, රාජරත්න මහත්මිය “බණ්ඩාරනායක - චෙල්වනායගම්” ගිවිසුමට විරුද්ධව ස්වාධීන අපේක්ෂිකාවක් වශයෙන් තරග කරන නිසාත් ඇයට ජයග්‍රහණය හිමිවීමට ඇති ඡන්ද ප්‍රමාණය බෙදී යන ක්‍රියාමාර්ගයක් ගැනීමට  තම පක්ෂය අදහස් නොකරන හෙයින් අතුරු ඡන්දයට අපේෂකයෙකු ඉදිරිපත් නොකරන බව එ.ජා.ප. වැඩබලන ලේකම් ජේ. ආර්. ජයවර්ධන මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් විය. 


මෙම පසුබිම යටතේ පැවැත්වූ වැලිමඩ ආසනයේ ප්‍රථම අතුරු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.


කේ. ඇම්. පී. (කුසුමා) රාජරත්න (මහත්මිය) - කරත්ත රෝදය 14069, එම්. බී. ඒ. ජයසුන්දර - අත 2616, කේ. ඒ. දල්පතාදු - අලියා 642 වැඩි ඡන්ද සංඛ්‍යාව 11,453 කි. 1956 මැතිවරණයේදී කේ. ඇම්. පී. රාජරත්න මහතා ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය ද පසුකර යමින් එදා මෙදාතුර (1947 - 1977) වැලිමඩ ආසනය වෙනුවෙන් ලබාගත් ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව වාර්තා කිරීමටද ඇය සමත් වූවාය. කුසුමා රාජරත්න මහත්මිය තුන්වැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි මන්ත්‍රීවරිය ලෙස දිව්රුම් දුන්නේ සැමියාට මන්ත්‍රී ධුරය අහිමි වූ පසු ඒ වෙනුවට මැති සබයේ අසුන් ගත් තුන්වැනි “භාර්යාව වශයෙන් ද මැතිවරණ ඉතිහාස පොතේ ස්වකීය නාමය සනිටුහන් කරමිනි.  ඊට පෙර එසේ පත්වූයේ කුසුම්සිරි ගුණවර්ධන (1948.04.19 අවිස්සාවේල්ල (නිතරගයෙන්) සහ තමරා කුමාරි ඉලංගරත්න (1949.06.18 මහනුවර අතුරු මැතිවරණය) යන දෙදෙනාය.

 

 

 

 


ජී. ආර්. ඩී. බණඩාර