1956 තුන්වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී පාලක එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රීලනිප විසසප සහ භාෂා පෙරමුණ යන පක්ෂ එකතුව පිහිටුවාගත් මහජන එක්සත් පෙරමුණ අත ලකුණ යටතේ තරගයට පිවිසියේය. මහජන එක්සත් පෙරමුණ ඡන්ද කොට්ඨාස 60 ක් සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කළේය. එයින් ඡන්ද කොට්ඨාස 51 ක් ජයග්‍රහණය කළ අතර ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 1,046,277 ක් ලෙස සටහන් වී තිබුණේය. එහෙත් එම පක්ෂය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද කොට්ඨාස වෙනුවෙන් කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් කර තිබුණේ නැත.

 

මේ අතර ලංකාවේ පැරණි වාමාංශික දේශපාලන පක්ෂ දෙකක් වූ ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙන වෙනම තරග කළ ආකාරය දැකගත හැකි විය. ලසසපය ඡන්ද කොට්ඨාස 21 ට තරග කර මුළු ඡන්ද 274,204 ක් ලබා ගෙන මන්ත්‍රීධුර 14 ක් හිමි කර ගත්තේය. ලංකා කොමියුනිස්ට් පක්ෂය ඡන්ද කොට්ඨාස 09 ට තරග වැදුණේය. එම පක්ෂය මන්ත්‍රීධුර 03 ට හිමිකම් කී අතර ඒ වෙනුවෙන් ලැබී තිබුණ මුළු ඡන්ද සංඛ්‍යාව 119,715 ක් විය. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වනුයේ මෙම පක්ෂ දෙකෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද කොට්ඨාස 05ක් වෙනුවෙන් සිය අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබීමය. මෙම අපේක්ෂකයින් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ආකාරය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන විට පෙනේ.


අංක 45 වඩුක්කෝඩෙහි ආසනයට උතුරේ ප්‍රධානතම දේශපාලන සංවිධානය වූ ෆෙඩරල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම අපේක්ෂකයෙකු වූ ඒ. අමිර්තලිංගම් මහතා (ගෙය) ඡන්ද 14937 ක් ලබාගෙන ජයග්‍රහණය කරන විට ප්‍රතිවාදී අපේක්ෂක කො.ප. ඒ. වෛද්‍යලිංගම් මහතා (තරුව) ඡන්ද 10,850 ක් ලබා ගැනීමට සමත් විය. අංක 46 කන්කසන්තුරෛ ආසනයට තරග කළ ෆෙඩරල් පක්ෂයේ නායක එස්. ජේ. වී. චෙල්වනාගයම් මහතා ජයග්‍රහණය කළේ ඡන්ද 14,855 ක් ලබා ගනිමිනි. දෙවැනි ස්ථානයට පත්වූ ස්වාධීන අපේක්ෂක එස්. නටේසන් මහතා ඡන්ද 8188 ක් ලබාගත් අතර තුන්වැනි ස්ථානයේ සිටි කො.ප. අපේක්ෂක වී. පොන්නමබලම් මහතාට ඡන්ද 4313ක් ලැබී තිබුණි. අංක 47 යාපනය ආසනය උතුරේ ද්‍රවිඩ ජන වර්ගයේ හදවත බඳු යැයි කිවහැකි ඡන්ද කොට්ඨාසයකි. 1956 මැතිවරණයේදී ද්‍රවිඩ සංගමයේ නායක ජී. ජී. පොන්නම්බලම් මහතා (බයිසිකලය) ඡන්ද 8914ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්විය. එතෙකුදු වුවත් වාමාංශික පක්ෂ දෙකකට ඡන්ද 5942 ක් හිමිවීම විශේෂ සිදුවීමක් ලෙස සටහන් ව තිබේ. එම ඡන්ද ප්‍රමාණය බෙදී ගොස් තිබුණේ එම්. කාර්තිගේසන් (කොප. තරුව) 3239 සහ ඒ. විසුවනාතන් (ලසසප යතුර) 2703 ක්ද වශයෙනි. අංක 58 කල්මුණේ ආසනය ජයග්‍රහණය කළේ පෙ.ප. අපේක්ෂක එම්. එස්. කාරියප්පර් මහතාය. ඔහුට ලැබි තිබුණ ඡන්ද සංඛ්‍යාව 9464 කි. එතෙකුදු වුවත් තුන් වැනි ස්ථානයේ සිටි ලසසප අපේක්ෂක ඇන්. ටී. ෆැන්සිස් ක්ෂේවියර් මහතා ඡන්ද 4242 ක් ලබා ගැනීමට සමත් විය.


ඓතිහාසික සිදුවීමක් වූයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දිනාගත් මන්ත්‍රී ආසන තුනට අංක 02 මැද කොළඹ (පී. බී. ජී. කේනමන් 45,296 පළමුවැනි මන්ත්‍රී) අංක 38 අකුරැස්ස (දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ 20,857) සමග යාපනය දිස්ත්‍රික්කයේ අංක 49 පේදුරුතුඩුව ඡන්ද කොට්ඨාසයද ඇතුළත්ව තිබීමයි. මෙහිදී උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ (ෆෙ.ප.) අපේෂකයා තුන්වැනි ස්ථානය දක්වා පසු බැස තිබීමද වැඩි ඡන්ද සංඛ්‍යාව 6317 ක් වීමද දේශපාලන අංශවල දැඩි අවධානයට ලක්වූ කාරණයක් විය. යාපනය දිස්ත්‍රික්කයේ ආසන සියල්ලද ඇතුළත්ව ඡන්ද කොට්ඨාස 30 ක ඡන්ද විමසීම පැවැත්වූයේ 1956 මහා මැතිවරණයේ අවසන් දිනය වූ අප්‍රේල් මස 10 වැනිදාය.


පේදුරුතුඩුව ආසනයේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.


පී. කන්දයියා (කො.ප. තරුව) 14,381, එම්. සිවසිතම් පරම් (ස්වාධීන කුඩය) 8064 කේ. තුරෙයිරත්නම් (ෆෙප ගෙය) 5359 වැඩි ඡන්ද සංඛ්‍යාව 6317, ප්‍රතික්ෂේප ඡන්ද පත්‍රිකා ගණන 317කි. ඡන්දය දුන් මුළු ගණන 28,621 ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 44,603 කි. මෙම ප්‍රතිඵලයට අනුව යාපනය දිස්ත්‍රික්කයෙන් මැති සබයට පිවිසි ප්‍රථම සහ එකම රතු මන්ත්‍රීවරයා ලෙස පී. කන්දයියා මහතාගේ නාමය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සටහන්ව ඇත. මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මහජනයා ඇමතු ලංකා කොමියුනිස්ට පක්ෂයේ ප්‍රධාන ලේකම් පීටර් කේනමන් මහතා ලංකාවේ දෙමළ කථා කරන ජනතාවගේ ප්‍රදේශයේ ආසනයකට පළමු වැනි වතාවට කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීම ගැන පේදුරුතුඩුව කොට්ඨාසයේ ඡන්ද දායකයින්ට ගරු කටයුතු යැයි ප්‍රකාශ කළේය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිය ජාතිභේදවාදය නොව ජාතික සමගිය ඇති කිරිම යැයි කී කේනමන් මහතා උතුරු පළාත වාමාංශික දේශපාලනයක් පිළිගැනීමට බොහෝ කාලයක් ගත කර ඇතැයි ද ඒ අතින් බලන කල දකුණ ඔවුන්ට වඩා බෙහෝ දුර ගමන් කර ඇතැයිද සඳහන් කළේය. පේදුරුතුඩුව අභිනව මන්ත්‍රී පී. කන්දයියා මහතා සිය ඡන්දදායකයින් අමතා කථා කරමින් තමාගේ ජයග්‍රහණය උතුරේ දේශපාලන සංස්කෘතියෙහි නව පරිච්ඡේදයක් ආරම්භ වීමකැයිද ඒ හේතුවෙන් යාපනයේ අලුත් බලවේගයක් පහළ වන්නේ යැයිද ප්‍රකාශ කළේය.

ජී. ආර්. ඩී. බණ්ඩාර