තරුණ කැරැල්ලේ අඳුරු කතා-02

 

සිසු අරගලය 1988 ඔක්තෝබර් වනවිට එහි උපරිම අංශයකට වර්ධනය වී තිබිණි. කම්කරු ජනතාවගේ සහායක් නොමැතිව තවදුරටත් ශිෂ්‍ය උද්ඝෝෂණ ගෙන යෑම දුෂ්කර බව ජවිපෙට අවබෝධ විය. ඒ අනුව කම්කරුවන් වෙනුවෙන් පිහිටුවා තිබූ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය එජාප ආණ්ඩුව පලවා හැරීමේ අරගලය සමස්ත මහා වැඩවර්ජනයකින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගයේ සඳහන් වූයේ උපන් දේශය බේරාගැනීමේ අරගලය දක්වා අපේම දරුවන් අද වනවිට අරගලයේ පෙරමුණ ගෙන සිටින බවත් එවන් පරිත්‍යාග මත ශිෂ්‍ය අරගලය ඔවුන්ට තනිව ගෙන යා නොහැකි බවත්ය. ඒ අනුව පළමුව මව්බිම දෙවනුව වැඩබිම යනුවෙන් කම්කරු පන්තිය 2 වැනි කැරැල්ලට ඇද ගන්නා ලදී. එහි ප්‍රථම ප්‍රයත්නය වශයෙන් 1988 ඔක්තෝබර් 19 සමස්ත මහා සංකේත වැඩ වර්ජනයක් සිදුකරන ලදී. එමෙන්ම 1988 ඔක්තෝබර් 26 සමස්ත මහා සංකේත වැඩ වර්ජනයක් ද පවත්වන ලදී.


දෙමාපියෝ බහුතරය මෙම ක්‍රියාමාර්ගවලට විරෝධතාව දැක්වුව ද මරණ බිය හේතුවෙන් එය ප්‍රසිද්ධියේ පෙන්වීමට අකමැති වූහ. ජවිපෙ පෝස්ටර් ඇලවූ සහ විරෝධතාවලට නායකත්වය දුන් සිසුන්ට දඬුවම් ලබාදුන් සහ ඔහුගේ නාම ලේඛනය ආරක්ෂක අංශ වෙත ලබාදීමේ චෝදනා යටතේ කැරලිකරුවන් විසින් ඝාතනයට ලක් කළ පාසල් විදුහල්පතිවරුන්ගේ සංඛ්‍යාව 52 කි. ප්‍රථම ඝාතනය වූයේ 1986 දෙසැම්බර් 5 හම්බන්තොට ගෝනදෙනිය විදුහලේ විදුහල්පති එච්. ජයවික්‍රමය.


පාසල් සිසුන් බහුතරයම වාගේ 2 වැනි කැරැල්ලේදී යොදා ගෙන තිබුණේ උද්ඝෝෂණ සංවිධානය කිරීම, පෝස්ටර් ඇලවීම, තුවක්කු සහ පතරොම් නිවෙස්වලින් එකතු කිරීම, ඔත්තු බැලීම, පක්ෂයේ ද්‍රෝහීන් ලෙස හැඳින්වූ පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම සම්බන්ධීකරණය කිරීම, කීර්ති විජයබාහුගේ නියෝග බෙදා හැරීම, තහනම් ප්‍රකාශන කියවන සහ රූපවාහිනී නරඹන අය පිළිබඳ තොරතුරු ලබාදීම, රාජ්‍ය දේපල ගිනි තැබීම, ජවිපෙ ඇඳිරි නීතිය ඇති ජාතික විරෝධතා දිනවල ඒවා ක්‍රියාත්මක කිරීමට සක්‍රීයව දායකවීම ඇතුළු කටයුතුවලටය.


ජවිපෙ 2 වැනි කැරැල්ලට එක්වූ පාසල් සිසුන් දේශපාලන දැක්ම අතින් දුර්වල වුව ද දක්ෂතාවයන් සහ හැකියාවන් සහිත නව බලවේගයක් විය. එහෙත් එහි වාසිදායක තත්ත්වයට වඩා දිගුකාලීනව තහවුරු වූයේ පිරිහීමේ ලක්ෂණයි. අත්දැකීම් සහ දේශපාලන පරිණතභාවය සහිත තරුණ සහ වැඩිහිටි බලවේගවල තිබූ වගකීම් සිසුන්ගෙන් දැකිය නොහැකි විය. ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමෙන් පසු බොහෝ සිසු නායකයන් දුර්වල පෞරුෂයකින් යුතු අය වූ අතර බිල්ලන් සහ පාවාදෙන්නන් බවට ඉක්මනින් පත්වූහ. පුද්ගල ත්‍රස්තවාදයේ ප්‍රාදේශීය ක්‍රියාකාරකම්වලදී කැරලිකරුවන් වශයෙන් පෙරමුණට යැවුවේ ද ඔවුන්ය.


ඇතැම් පාසල් සිසුනට පවුල් සමාජය තුළත් ඉන් පිටත් සමාජ පීඩනයට පත්වී නිසි සමාජ ඇසුරක් නොලැබුණ බැවින් එවන් අය තිරශ්චින වධකයන් බවට පත්වූ අවස්ථා නැත්තේ ද නොවේ. ජවිපෙ මෙහෙයවීමෙන් මසක් පුරා පැවැති මහා බස් වැඩ වර්ජනයේදී වර්ජනයේ අණ කඩකළ බස් රියැදුරකු ගිරිඋල්ලේදී ඝාතනය කළේ වයස අවුරුදු 15ක් පමණ වන පාසලේ 9 වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකි.

දික්වැල්ල විජිත විදුහලේ නිශාන්ත ජයවර්ධන 1988 ජුනි 20 උදේ 10ට සිසු උද්ඝෝෂණයකදී ආරක්ෂක අංශ මගින් වෙඩි තබා ඝාතනය කර තිබූ අන්දම සහ ආරක්ෂක අංශ මගින් ඝාතනය කළ නුගවෙල මහා විද්‍යාලයේ නන්දන බණ්ඩාර අබේකෝන්ගේ දේහය ඔහුගේ නිවසේදී තැන්පත් කර තිබූ අයුරු දකුණේ ඡායාරූපයේ දැක්වේ.

 


අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට අනේක වධබන්ධනවලට මුහුණපෑමට සිදුවිය. පැන්සල් පෑන්වලින් ඇන කන් අඩි පසාරු කරන ලදී. අත්පාවල නියපොතු උගුල්ලුවේය. ඔවුන්ට කටුකම්බි ඇඳවල්වල නිදි කිරීම, ඇණ සහ යතුරු ගිලීම, විදුලි ස්ත්‍රික්කයෙන් පිටවල් අයන් කිරීම ද සිදුවිය. පුරුෂ ලිගුව මේස ලාච්චුවලට දමා වසා අධෝමුඛයට එස්ලෝන් බටයක් යවා පසුව කටු කම්බියක් බස්සා බටය ඉවතට අදින අවස්ථා ද වාර්තා විය. මිරිස් ගෝනි, වතුර ටැංකිවල හිස ඔබා හුස්ම හිරවෙන්ට හරින ලදී. නිරුවතින් එල්ලා යටි පතුල්වලට පහරදී අත්පා බැඳ ධර්ම චක්‍රයේ ගැසීම සිදුවිය. එස්ලෝන් බට සහ මහත වයර් පටිවලින් පහර දෙනු ලැබීය. පොතක් හිස මත රඳවා තබා සිටියදී එය අල්ලා ගැනීමට නියම කර හිසට බැටන් පොල්ලකින් පහර දෙනු ලැබීය. සිසුවියෝ සිය ගණනක් ද ඝාතනයට ලක්වූ අතර ඉන් පෙර ඔවුහු බොහෝදෙනා දූෂණයට ද ලක්වූහ. මේ වධකාගාරවල ඔවුනට අත්විඳීමට සිදුවූ ඉරණමේ එක් පැතිකඩක් පමණි.


ජවිපෙ දෙවැනි කැරැල්ල 1989 නොවැම්බර් ඇද වැටීමෙන් පසු ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයට අනුගත වී සිටි සිසු නායකයෝ 1990 මැදභාගය වනවිට අන්ත අසරණ වූහ. පාසල් අධ්‍යාපනයෙන් පිටමන් වී පැමිණි ඔවුනට පාසල තහංචි විය. එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරය) ඇතුළු අනෙකුත් දෙවැනි කැරැල්ලට සම්බන්ධව සිටි ඝාතනය නොවූ සරසවි උපාධි අපේක්ෂකයෝ සිය ගණනක් පෙරළා සරසවියට ගොස් ඉගෙනුම ලබා උපාධිය ද සමත්ව විවිධ ක්ෂේත්‍රවල රැකියාවලට ගියහ. පාසල් සිසු ක්‍රියාකාරිකයන්ගෙන් බහුතරයක්ම අවම වශයෙන් අපොස උසස් පෙළටවත් ඉදිරිපත්ව නොසිටි හෙයින් අධ්‍යාපන ඩිප්ලෝමාවක් හෝ හැදෑරීමට නොහැකි විය.


සිසු සිසුවියන් බොහෝදෙනකු අත්අඩංගුවට පත්වූයේ බිල්ලන් සිය නිවෙස්වලටම ආරක්ෂක අංශ සමග පැමිණ කොටුකර දීමෙනි.


වධකාගාරවලදී දරුණු තාඩන පීඩනවලට ලක්ව ජීවිතය බේරාගැනීමට වාසනාව ලැබූ සිසු ක්‍රියාකාරිකයන් වරින් වර හැදෙන හිසේ කැක්කුම්වලින් පෙළිණි. කායික ශක්තිය දුර්වල විය. ලිංගික ආකර්ශණයට නිසි ප්‍රතිචාරයක් නොවීය. අධ්‍යාපනය කඩාකප්පල් වීම රැකියාවක් කිරීමට සුදුසුකම් නොලැබීම නිසා ඇතැම් ශිෂ්‍ය නායකයෝ සහ ක්‍රියාකාරිකයෝ අවසානයේදී දරුණු විශාධ අවපාතයන්ට ගොදුරු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉච්ඡා භංගත්වයට පත්වූ අතර කිහිපදෙනෙක් සිය දිවි නසාගත් බවට ද වාර්තා විය.


ජවිපෙ 2 වැනි කැරැල්ලේදී රජයට භාරවූ සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු 1990 පුනරුත්ථාපනයට යොමුකළ කැරලිකරුවන් 11,658ක් අතරින් වයස අවුරුදු 15ට අඩු සංඛ්‍යාව 171ක් වූ අතර වයස අවුරුදු 15 සිට 25ත් අතර වූ කැරලිකරුවන් සංඛ්‍යාව 5,508 කි.


ජවිපෙ 2 වැනි කැරැල්ල අවසාන වනවිට ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් වටා ගොනු වී සිටි පාසල් සිසුන් 2,327ක් ද ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කල්ලි මගින් ඝාතනයට ලක්විය. කැරලිකරුවන් අතින් ද ඝාතනයට ලක්වූ විදුහල්පතිවරුන් සංඛ්‍යාව 52ක් විය.


විදුහල්පතිවරුන් 52ක් සහ සිසුන් 2,327ක් මරුට


ජවිපෙට ලංකා ඉතිහාසයේ විශ්වාසවන්තම සටන්කරුවා වූයේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයයි. ජවිපෙට අනුව හොරට නිදා සිටින සමාජය ඇහැරීමේ වගකීම ඇත්තේ ද ශිෂ්‍ය ව්‍යාපාරය අතේය.

 

ඈත ගම්මානවල දුවා දරුවන්ට ඉහළට යෑමට තිබුණේ නිදහස් අධ්‍යාපනය පමණි. නමුත් ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව මගින් 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාව උපක්‍රමිකව ක්‍රියාත්මක වීමත් සමගම නිදහස් අධ්‍යාපනයේ දොරටු වැසීම ඇරඹිණි. 


එජාප ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනයක් ලෙස හඳුන්වමින් අධ්‍යාපන කප්පාදු කිරීම් රැසක් යෝජනා කර තිබිණි. මේ නිසා සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට වැට කඩුලු බැඳීමක් විය. අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව සරසවි සහ පාසල් සිසුන් දහස් ගණනක සහභාගීත්වයෙන් 1982 ජනවාරි 20 වැනිදා ගාලු මුවදොර ඉදිරිපිට ප්‍රබල උද්ඝෝෂණයෙන් අනතුරුව එවකට තිබූ පාර්ලිමේන්තු භූමිය වටකරන ලදී. ධවල පත්‍රිකාව ඉදිරිපත් කිරීම එම මොහොතේ සිදු නොවූව ද 1983 ජුලි කලබලවලින් පසු ජවිපෙ පක්ෂ තහනමත් සමගම උපක්‍රමික වශයෙන් ධවල පත්‍රිකාව කොටස් වශයෙන් ක්‍රියාවට නැගීමට ආණ්ඩුව සමත් විය. 


දෙවැනි කැරැල්ල ව්‍යාප්ත වනවිට සමස්ත කැරැල්ලේ දිශානතිය වෙනස් වනවිට දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් උද්ඝෝෂණ මෙහෙයවීම වඩාත් පුළුල් පදනමකින් පවත්වා_ගැනීමට සහ පොදුවේ සිසුන් වැඩි පිරිසකට එකඟවිය හැකිවන පරිදි ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීරණයක් අනුව දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය අහෝසිකර ඒ වෙනුවට ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය 1988 ජුනි 14 වැනිදා පිහිටුවන ලදී. ‘පළමුව මව්බිම - දෙවනුව ඉගෙනුම’ යන සටන් තේමාව යටතේ දේශප්‍රේමී අරගලයේ ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා කේඩර්වරුන් පුහුණු කිරීම ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ අරමුණ විය. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ), අන්තර් පාඨශාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය, අන්තර් කාර්මික විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් පිරිවෙන් භික්ෂු බලමණ්ඩලය, සමාජවාදී ශිෂ්‍ය සංගමය යටතේ සියලුම පාසල්වල ක්‍රියාත්මක වූ ද්විතියික අංශයේ ශිෂ්‍ය කමිටු එක්කර ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. පුළුල් අන්දමින් සිසු අරගල මෙහෙයවීම සඳහා බහුතර සිසුන්ට එකඟවිය හැකිවන ලෙසට ජාතික ශිෂ්‍ය මධස්ථානයේ ව්‍යුහය සකස් කර තිබිණි. එතෙක් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් 1986 ජුනි සිට මෙහෙයවූ සියලු උද්ඝෝෂණ මෙහෙයවීමේ බලය ද එයට පැවරිණි.