1972 වසරේ අගෝස්තු මාසයේ එක්තරා දිනයක උදෑසන 10.00 ට පමණ “දවස” පත්‍රයේ මණ්ඩලික ලේඛකයෙකුව සිටි නෝනිස් වල්පිට ගමගේ මහතා සුපුරුදු පරිදි නොණ්ඩි ගසමින් කාර්යාලයට  ආවේය. තම වෘත්තීය සගයන් වැඩිදෙනකු ඒ වනවිටත් පැමිණ නොසිටියෙන් හෙතෙම තම අසුනේ  හිඳ ගනිමින් එදින නිකුත් වූ පුවත්පත් කීපය ළඟට ඇද ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ එදින දවස පත්‍රයට තමන් විසින් ලියා තිබූ ප්‍රවෘත්තියට අදාළ පුවතක්  සෙසු තරගකාරී පුවත්පත්වල ද පළවී ඇද්දැයි දැන ගැනීමටය.


මේ අතර දවස කර්තෘ මණ්ඩලයේ සේවය කළ පියන් කෙනෙකු ඔහු අසලට පැමිණ එදින තැපෑලෙන් ලැබුණු ලිපියක් භාර දුන්නේය. එහි සටහන් වූයේ ඉතා වැදගත් ප්‍රවෘත්තියක් පිළිබඳව හෝඩුවාවක් ලබාදීම සඳහා එදින දහවල් 12.00ට කොළඹ කොටුවේ බි්‍රස්ටල් බාර් එකට පැමිණෙන ලෙසය. එම  ලිපිය එවා තිබුණේ කවුරුන්දැයි එහි සඳහන් නොවුනද “මම මහත්තයා  අඳුනනවා ඒ නිසා මමම ඇවිත් කතා කරන්නං” යනුවෙන්ද එහි ලියා තිබුණේය.


එම ලිපිය එවූ පුද්ගලයා සතුව යම් රහසිගත තොරතුරක්  ඇති බවත් ඔහුට අවශ්‍යවී ඇත්තේ එය තමන්ට පැවසීමට බවත් ගමගේ මහතාට එසැණින් වැටහී ගියේය. ඒ අනුව ඔහු කළේ තවත් පැය එකහමාරක් පමණ කාර්යාලයේ ගතකර ලිපියේ සඳහන් වූ වේලාවට විනාඩි පහකට පමණ පෙර කොළඹ කොටුවේ පිහිටි බි්‍රස්ටල් බාර් එක වෙත ගොස් හීනියට අඩියක් ගැසීමය.


තවත් සුළු වේලාවකට පසු ගමගේ අසලට ආ තරමක් මිටි ස්ථුල ශරීරයක් තිබූ පුද්ගලයෙක් “ගමගේ මහත්තයට මෙන්න මේ ඩොකියුමන්ඞ් එක වැදගත් වේවි. මෙතනදි බලන්න එපා!”යි කියමින් ලිපි කවරයක් අතට දී එසැණින් අතුරුදන් වූවේය. එය අතට ගෙන සාක්කුවේ දමාගත් ඔහු තමන් දැක සිනාසුණු වේටර්වරයාට ද තට්ටුවක් දමා හෙමින් සීරුවේ දවස කාර්යාලයට ආවේය.


නෝනිස් වල්පිට ගමගේ හෙවත් එන්. ඩබ්ලිව්. ගමගේ වූ කලී  එවකට දවස කර්තෘ මණ්ඩලයේ සිටි අති දක්‍ෂ වාර්තාකරුවෙකි. සෙසු වාර්තාකරුවන් මෙන් මාගල් තරම් දිගට ප්‍රවෘත්ති නොලියන ඔහු දිනකට ලිවීමට පුරුදුව සිටියේ එක් ප්‍රවෘත්තියක් හෝ දෙකක් වැනි ඉතා සුළු සංඛ්‍යාවකි. ඉතා කෙටියෙන් ලියා තිබූ ඒ හැම ප්‍රවෘත්තියක්ම වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වූයේ නිරායාසයෙනි. හරියටම කිවහොත් එකල දවස පත්‍රයේ මුල් පුවත බොහෝවිට ලියා තිබුණේ  ඔහුය.


කාර්යාලයට ගොස් දිවා ආහාර ගැනීමටත් පෙර අවන්හලේදි තමන්ට හමුවූ අමුත්තා විසින් දෙන ලද ලියුම් කවරය විවෘත කර එහි තිබූ රහස්‍ය ලේඛනයක කාබන් පිටපත කියවා බැලූ ගමගේට එසැණින් හැඟී ගියේ මුළුමහත් ආණ්ඩුවම දෙදරුම් කා යන අන්දමේ අතිශය වැදගත් තොරතුරක් එහි සඳහන්ව තිබෙන බවය. එකල දැන් මෙන් ඡායා පිටපත් ගැනීමේ ක්‍රමයක් නොතිබුණෙන් රජයේ සහ රාජ්‍ය අංශයේ සෑම ලිපියක්ම යතුරු ලියනය කෙරුණේ කාබන් පිටපත් එකක් හෝ දෙකක් සහිතවය. ඉංග්‍රීසි බසින් ලියා තිබූ එම කාබන් පිටපත දහ දොළොස් වරක්ම කියවා බැලූ ගමගේ මහතා එහි ඇතුළත් සියලු කාරණා සම්පිණ්ඩනය කර කෙටි ප්‍රවෘත්තියක් සකසන ලද්දේ පාඨකයන්ගේද කුතුහලය ඇවිස්සී යන අයුරිනි.


මේ කාලය වනවිට දවස පත්‍රයේ ආරම්භක කර්තෘවරයා මෙන්ම  දවස ආයතනයේ නිර්මාතෘවරයා ද වූ ඩී. බී. ධනපාල මහතා මියගොස් සිටියේය. එහෙයින් ඔහු එම ප්‍රවෘත්තිය මුලින්ම පෙන්වූයේ එවකට දවස පත්‍රයේ කතුවරයා වූ ඬේවිඞ් කරුණාරත්න මහතාටය.


“අයිසෙ ගමගේ මේක බොහොම බරපතළ සිද්ධියක්. තමුසෙට ඔප්පු කරන්න කරුණු කාරණා තියෙනවාද? 


ඔව්. සර් මට පුළුවන්.... යි ගමගේ කී විට ඔහු කියා සිටියේ එම ප්‍රවෘත්තිය ඉරිදා පත්‍රයට ගැනීම වඩාත් සුදුසු බවය. ඔහු එසේ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර ගැනීමට ඇති අකමැත්ත  නිසා විය හැකි යැයි ගමගේට ඒ වනවිටත් හැඟී ගොස් තිබුණේය. කෙසේ වෙතත් දවස නිවසෙන් නිකුත් වූ ඉරිදා පත්‍රය වන ‘රිවිරැස’ ඒ වනවිට පිටපත් දෙලක්‍ෂය ඉක්මවා අලෙවි කෙරෙන බව ඔහු දැන සිටියේය. එහෙයින් තම ප්‍රවෘත්තිය රිවිරැසට දීමට ඔහු එකපයින් කැමැති විය.


ඒ අනුව රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේ මහතා ගමගේ විසින් තමන් අතට දෙන ලද ප්‍රවෘත්තිය කියවා තම උපැස් යුවළ ගලවා අතට ගත්තේ නළල ද රැළි ගන්වමිනි. 


“ගමගේ මේක මරු කතාවක්නෙ”?.”අපි ලීඞ් කරමු. ඒත් මේ අතේ රෝලක් එහෙම  නෙවෙයිනේ....?”


ලියනගේ මහතා එසේ ඇසුවද ගමගේ එවැනි අත් රෝල් ගසන්නෙකු නොවන බව හෙතෙම දැන සිටියේය.


“හැබැයි පුතෝ මේක පත්තරේ ගිය ගමන් පත්තු වෙලායාවි. ඒවටත් මූණ දෙන්න බලාගෙන ඉන්න ඕනෑ...! යි කී ලියනගේ ඒ මොහොතේම දවස නිවසේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වූ සේපාල ගුණසේන මහතාට ද කතා කර ඒ බව දැනුම් දුන්නේය.


ගමගේ විසින් ලියන ලද එම ප්‍රවෘත්තිය 1972 සැප්තැම්බර් මස 3 වැනිදා නිකුත්වූ රිවිරැස පත්‍රයේ පළවී තිබුණේ ‘ලංකා ලොක්කෝ ස්විස් බැංකුවල ලක්‍ෂ ගණන් හංගති’ යන සිරස්තලයෙනි. එදිනම නිකුත් වූ වීක්එන්ඞ් පත්‍රයේ ද එම ප්‍රවෘත්තිය තවත් අරුළු බුරුළු සහිතව පළකර තිබුණේ. එන්. ඩබ්ලිව්. ගමගේ විසින් රිවිරැසට ලියා තිබූ එම ප්‍රවෘත්තිය තවත් කරුණු කීපයක්ද එක් කරමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තිබුණේ එරික් දේවනාරායන විසිනි. 


එම ප්‍රවෘත්ති දෙකටම පදනම් වී තිබුණේ මෙරට දේශපාලනඥයන්, වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ බුකි හිමියන් දහසකට අධික පිරිසක් නොයෙකුත් අයථා මාර්ගවලින් උපයාගත් කළු සල්ලි ස්විස් බැංකුවල සඟවා ඇති බවය. ඕනෑම කෙනෙකුට  තමන් විසින් අයාථා මාර්ගවලින් උපයා ගත් කළු සල්ලි ස්විස්  බැංකුවල නිර්නාමිකව තැන්පත් කළ හැකි බවත් රහස් සංකේත අංකයකින් හැඳින්වෙන ස්විස් බැංකු ගිණුම්වල තම මුදල් තැන්පත්  කරන කෝටිපතියන්ගේ නම මොනම හේතුවක් නිසාවත් හෙළි නොකිරීම සඳහා එම රටේ නීතිමය ආවරණයක් පවා ලැබී තිබෙන බවත් සඳහන් ලිපි සහ විශේෂාංග කීපයක් ඊට කලකට ඉහතදී දවස නිවසෙන් නිකුත්වූ පුවත්පත්වල ද පළවී තිබුණේය.


ප්‍රශ්නය ඔඩු දුවන්නට පටන් ගැනුණේ එවකට හබරාදුව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතා එම ප්‍රවෘත්තිය පිළිබඳව ජාතික රාජ්‍ය සභාවේදී ප්‍රශ්න කිරීමෙන් පසුවය. මේ අතර විනිමය පාලකවරයාත් රහස් පොලිසියෙන් අවස්ථා කීපයකදීම එන්. ඩබ්ලිව්. ගමගේ සහ එරික් දේවනාරායනගෙන් ප්‍රශ්න කර තිබුණේය. ඔවුන්ට අවශ්‍යවූයේ එම ප්‍රවෘත්තිය ගමගේ මහතාට ලැබුණු ආකාරය පිළිබඳව දැන ගැනීමටය. එහෙත් ඔවුන් දෙපළ පමණක් නොව රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේ සහ වීක්එන්ඞ් කර්තෘ රෙක්ස් ද සිල්වා යන මහත්වරුන් පවා කියා සිටියේ එම ප්‍රවෘත්තිය නිවැරදි බව විනා එය තම ප්‍රවෘත්ති ලේඛකයාට ලැබුණ ආකාරය පිළිබඳව හෙළි කිරීමට නොහැකි බවය. එය ප්‍රවෘත්ති කලාවේ පිළිගත් ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවක් බව ඔවුහු  කියා සිටියහ.


එලෙස ඔවුන් සිවුදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සුප්‍රකට 4 වැනි තට්ටුවට ගෙන්වා පැය ගණනාවක් ප්‍රශ්න කළ රහස් පොලීසිය උසාවි නියෝගයක්ද රැගෙන දවස ආයතනය වෙත පැමිණ රිවිරැස සහ වීක්එන්ඞ් කර්තෘ මණ්ඩලයේ මේස ලාච්චු පවා සෝදිසි කර තිබුණේය. එහෙත් එම ප්‍රවෘත්තියේ සිංහල සහ ඉංග්‍රීසි අත්පිටපත් හැර ඊට අදාළ කිසිදු මූලාශ්‍රයක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.


එසේ වූයේ තමන්ට ලැබුණු මුලාශ්‍රයේ ලිපියේ කාබන් පිටපත ගමගේ මහතා විසින් ඒ වනවිටත් අතිශය සුරක්‍ෂිත ස්ථානයක සඟවා තිබූ බැවිනි. ඔහු දිගින් දිගටම කියා සිටියේ තමන් ලියූ ප්‍රවෘත්තිය සත්‍ය බව විනා එය ලැබුණු ආකාරය පිළිබඳව හෙළිකිරීමට ප්‍රවෘත්ති කලාවේ පිළිගත් ආචාර ධර්මවලට අනුව තමන්ට කිසිසේත්ම නොහැකි බවය.


මේ අතර රිවිරැස සහ වීක්එන්ඞ් පුවත්පත්වලින් හෙළිදරවූ කෙරුණු ස්විස් බැංකුවලට කළු සල්ලි සැඟවූ දේශපාලනඥයන් ඇතුළු ව්‍යාපාරිකයන් පිරිස ගැන රට තුළ බලවත් ආන්දෝලනයක් හටගෙන තිබුණේය.
එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ජනතාව අතර ආණ්ඩුවේ දේශපාලනඥයන් කෙරෙහිද සැකයක් හට ගැනීමය. එම ප්‍රශ්නය තවදුරටත් උග්‍ර අතට හැරුණෙන් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට ද ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශයක් කිරීමට සිදුවුයේ ඊට විසඳුමක් වශයෙනි.

 

අගමැතිනිය විසින් කළ එම ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සහ වෙළෙඳ සේවය ඔස්සේ විකාශය කෙරුණේය.


එහිදී එතුමිය කියා සිටියේ එම ප්‍රවෘත්තිය සැපයූ එන්. ඩබ්ලිව්.  ගමගේ මහතා සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රජයට හෙළිදරවු කිරීම ප්‍රතික්‍ෂේප කර තිබීම ඒ පිළිබඳව පැවැත්වෙන පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක්වී ඇති බවයි. අගමැතිනිය තවදුරටත් කරුණු දක්වමින් යම් මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ අවස්ථාවක එය ඇසින් දුටු සාක්‍ෂිකරුවකු සිද්ධිය ගැන විනා ඊට වගකිවයුතු පුද්ගලයා ගැන හෙළි දරව් නොකිරීමට සමාන සිද්ධියකැයි කියා සිටියේ එන්. ඩබ්ලිව්. ගමගේ මහතාගේ නම පවා සඳහන් කරමිනි.


අන්තිමේදී එම සිද්ධියේ වගකීම ගමගේ මහතාගේ කරපිටින් ගියේය. ඔහුට එරෙහිව පැවැති නඩුව දිගු කලක් තිස්සේ විභාග කෙරුණු අතර එය අවසන් වූයේ එන්. ඩබ්ලිව්. ගමගේ මහතාට රුපියල් දහසක දඩයක් ගෙවීමට නියමවීමෙනි. එවකට පැවැති පත්‍ර කලා සංගමයක් විසින් එම දඩය ගෙවා ඔහු නිදහස් කරගෙන ඇතැයි පසුව අසන්නට ලැබුණේය.

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර