1971 අප්‍රේල් කැරැල්ල ගැන සඳහන් කරන විට ප්‍රේමවතී මනම්පේරි නාමය ද නිතැතින්ම කියැවෙන්නේ, ඇය හමුදා ප්‍රධානියෙකුගේ අණ පරිදි නිරුවත්කොට, මහමග ඇවිද්දවා ඉතාමත් කෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීම නිසාය. 1970 වර්ෂයේ කතරගම අවුරුදු කුමරිය වශයෙන් අභිෂේක ලබා සිටි ප්‍රේමවතී මනම්පේරි මෙනෙවිය ඝාතනය කර දැනට වසර 47 ක් ගතවී ඇතත් එම සිදුවීම අදත් ජනතාවගේ සිත්වලින් බැහැරව නැත.


කතරගම වන සත්ව දෙපාර්තමේන්තුවේ මුරකරුවකු වශයෙන් සේවය කළ හෙන්ද්‍රික් අප්පුහාමිගේ හා ලීලාවතී ඔබේසිංහ යන අයගේ වැඩිමහල් දියණිය වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනයට ලක්වන විට 22 වැනි වියේ පසුවූවාය. කතරගම විද්‍යාලයේ දීප්තිමත් සිසුවියක වූ ඇය, විද්‍යාලයේ එකල අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් සියල්ල උසස් අන්දමින් සමත් වූ අතර කතරගම ප්‍රදේශයේ සිටි උගත් බුද්ධිමත් තරුණියක ලෙසට ද, ප්‍රදේශවාසීන් අතර පිළිගැනීමට ලක්ව සිටියාය.

ධර්මාචාර්ය විභාගයට මුහුණ දුන් අතර එයින්ද ඉහළින්ම සමත්ව කතරගම දහම් පාසලේ දහම් ආචාර්යවරියක ලෙස සේවය කරන්නට ද අවස්ථාව ලැබුවාය.


කතරගම අවුරුදු කුමරිය වශයෙන් අභිෂේක ලබන්නට තරම් රූසපුවකින් යුක්තව සිටි ඈ කතරගම සිට තිස්සමහාරාමය දක්වා වූ මහා මාර්ගය අසල වූ නිවසක පදිංචි වී සිටියාය. අවුරුදු කුමරිය ලෙස ඔටුණු පැලඳීමත් සමග බොහෝ පිරිමින්ගේ ඇස් ඇය දෙසට යොමුවීම නැවැත්විය නොහැකි විය. මේ අතර ප්‍රේමවතී දෙස ගිජු බැල්මෙන් බැලූ තවත් අයෙකු ද වූයේය. අවුරුදු උත්සවය දා ප්‍රේමවතීට වේදිකාවේ දී සුබ පැතූ එවකට කතරගම පොලීසියේ ස්ථානාධිපතියි. ඒ උත්සවය අවසන් වී දින කිහිපයකට පසුව ස්ථානාධිපති ප්‍රේමවතී මුණ ගැසුණේය. ඇය කෙරෙහි තමාගේ මනාපයක් ඇති බවට ප්‍රකාශ කර සිටියේය. එසේ ඔහු දින කිහිපයක්ම බලපෑම් කරමින් ප්‍රේමවතී හමුවීමට පැමිණිය ද ඇය කතරගම ස්ථානාධිපතිව ගණන් නොගත්තාය. ස්ථානාධිපති සැරසෙන්නේ තමාගෙන් අයුතු ප්‍රයෝජන ගෙන තමාව වනසන්න යැයි ප්‍රේමවතී හොඳින්ම වටහාගෙන තිබුණාය. ඇයගෙන් පිළිතුරක් නොලද තැන හොඳයි මම බලාගන්නම් යයි ස්ථානාධිපති කේන්තියෙන් පවසා පිටත්ව ගියේය.


එකල රාජ්‍ය බලය හෙබවූ සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය බලයෙන් පහකර රටේ පාලන බලය සියතට ගැනීම රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ කැරලිකරුවන්ගේ ඒකායන අරමුණ වී තිබුණු අතර ඒ අනුව 1971 අප්‍රේල් මස ආයුධ සන්නද්ධ කැරැල්ලක් දියත් කරනු ලැබිණි. ඔවුහු ඒ සඳහා දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන කිහිපයකටම එකවර ප්‍රහාර එල්ල කළහ. ජවිපෙ විසින් එලෙස ප්‍රහාර එල්ල කරන ලද පොලිස් ස්ථාන අතර එක් පොලිස් ස්ථානයක් වී තිබුණේ කතරගම පොලිස් ස්ථානයයි. කතරගම පොලිස් ස්ථානයට එල්ල කළ පළමු ප්‍රහාරය යම් තරමකට සාර්ථක වී තිබුණද, එය කැරලිකරුවන් බලාපොරොත්තු වූ තරමින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර දී නොතිබුණේය. 1971 අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා කතරගම තම පාලනයට යටත්කරගෙන තිබූ කැරලිකරුවෝ හමුදාව පැමිණීමත් සමග පසුබැස්සහ. කතරගම හමුදා පාලනයට නතුවීමත් සමග යටපත්ව තිබූ කේන්තිය මතුවී ඒමෙන් පොලිස් ස්ථානාධිපති අර කැරලි නායිකාව අරගෙන යන්න ඕනෑ යයි පොලිස් භටයන්ට කීවේය.


දිනය අප්‍රේල් 16 වැනිදා වෙලාව පෙ.ව. 9 පමණ වී තිබුණි. ප්‍රේමවතී මනම්පේරි සුපුරුදු පරිදි නිවසේ රැඳී සිටියාය. අම්මාද ඇය අසලින් සිටි අතර තම නිවස දෙසට පැමිණෙන වාහනයක හඬක් ඇසුණේය. පැමිණ තිබුණේ කතරගම පොලිස් ස්ථානයේ ජීප් රථයයි. නිලධාරීහු දෙදෙනෙක් වාහනයෙන් බැස ගොස් ප්‍රේමවතීව කොණ්ඩෙන් ඇදගෙන ජීප් රථය ඉදිරියට ගෙන ආහ. ප්‍රේමවතීගේ අම්මා හිස අත්බැඳ කෑගැසුවාය. සහෝදර සහෝදරියන් හඬා වැටුණහ. නමුත් පොලිස් නිලධාරීහු ප්‍රේමවතීව අත්නොහැරියහ. ප්‍රේමවතී පටවාගත් පොලිස් රිය පැමිණ නතර වී තිබුණේ කතරගම ලංගම විශ්‍රාම ශාලාවේ හමුදා කඳවුර වෙතය. කතරගම ප්‍රදේශයේ ජවිපෙ ප්‍රධානම පෙළේ කැරලිකාර නායිකාවක් බවට ප්‍රකාශ කරමින් ප්‍රේමවතී මනම්පේරිව භාරදෙන ලද්දේ, කතරගම හමුදා කඳවුරේ ස්වේච්ඡා භටයකු හා ලුතිනන්වරයකු වන ඇල්ෆ්‍රඞ් විජේසූරිය නම් නිලධාරියාටය. අප්‍රේල් කැරැල්ලේ කතරගම ප්‍රදේශයේ ප්‍රේමවතී මනම්පේරීගේ දායකත්වය පිළිබඳව ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ලුතිනන් විජේසූරිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරන ලද නමුත් අඩු තරමින් පන්ති පහට සහභාගිවී තිබේදැයි යනුවෙන් කරන ලද ආරෝපණය පවා ඇය එකලෙසම ප්‍රතික්ෂේප කළාය.


1971 අප්‍රේල් 17 වැනිදා කතරගම පූජා නගරයේදී ඇයව නිරුවත් කොට දෑත් ඔසවා මා පන්ති පහට සහභාගි වූවායි කියමින් මහ පාරේ ගමන් කරන ලෙසට කරන ලද අණ හමුවේ පවා ඇය කැරැල්ලට දායකත්වය දැක්වූ බවට කරන ලද ආරෝපණය පිළිගත්තේ නැත. ඈ වීදිය මැද්දෙන් මිනිසුන් ඉදිරියේ ලැජ්ජාව නොඉවසිය හැකිව මහමග හඬමින් ගමන් කළාය. ඇයට පිටුපසින් ගිනි අවිය මානාගෙන ලුතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙකු අණ දෙමින් ගමන් ගත්හ. අසල පිහිටි ගුණසිරි හෝටලයේ හුන් දෙතුන් දෙනෙක් ඇස් අදහාගත නොහැකි ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී ඉවත බලාගත්හ. එක අතක් හෝ පහත් කොට විළි වසාගන්නට තැත් කළ හොත් වෙඩි තබන බවට කාමුක සෙබළා අනතුරු හඟවා තිබුණ ද, ප්‍රේමවතීගේ දකුණත මිනිසුන් ඉදිරියේ ලිහිල්ව පහත් වන්නට විය. ඇය එසේ කළේ ලැජ්ජාව නොඉවසිය හැකිව මහ හඬින් හඬමිනි.


තුවක්කුව පත්තු විය. ප්‍රේමවතී මදක් වැනෙමින් දෑතින්ම විළිවසා ගනිමින් මොහොතක් සිට ඇද වැටී ඇඹරුණාය. නිරායුධව, නිර්වස්ත්‍රව වෙඩි තබා බිම හෙළනු ලැබූ තරුණියට නැවත ද තුවක්කුව එල්ල විය. වෙඩි හඬ දෙක තුනක් පිටවිය. ලේ ගලාගෙන ගියේය. මහ පොළවේ හතර රියන් වළක් කැපී අවසාන වනතෙක් ප්‍රේමවතී මනම්පේරි නොසැලී උන්නාය. ඇයට ප්‍රාණය තිබෙන්නට ඉඩක් ඇතැයි කිසිවෙක් නොසිතූහ. එහෙත් තරුණියට පණ තිබෙන බවත්, ඇය හුස්ම ගන්නවා පමණක් නොව සිහින් හඬින් කෙඳිරි ගාන බවත්, ඇය වළදමනු සඳහා දෑතින් හා දෙපසින් එල්ලා ගෙන වළ සමීපයට ගෙන යද්දී තේරුම් ගත හැකි විය. නැවතත් සාහසිකයන්ගේ රයිපලය ඇගේ හිසට එල්ල විය. ප්‍රේමවතීගේ සිරුරේ හිල් නොකළ එකම තැන වූ හිසද ඔවුන් හිල් කළ හෙයින් හිසින්ද ලේ ගලා ගියේය. ප්‍රේමවතීව එම ස්ථානයේදී වළ දැමිණි. 


ඝාතනය සියැසින් දුටු ඩෙස්මන් වයිට් මහතාගේ තොරතුරු දැනුම්දීමෙන් පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹුණේය. 1971 මැයි 24 වනදා ප්‍රේමවතී මනම්පේරිගේ මිනිය ගොඩගෙන පරික්ෂණ පවත්වන ලදී. පසුව මේ පිළිබඳ නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින්  ගාල්ලේ අපරාධ නඩු අධිකරණය වෙත යොමු කරන ලදී. ඒ අනුව මෙම නඩුව විභාග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඩී. කිව්. ඇම්. සිරිමාන්න මහතා විසිනි. පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ නීතිඥ කෙනත් සෙනවිරත්න මහතාය. නඩු විභාගය අවසානයේදී පළමු විත්තිකාර ලුතිනන් ඇල්ෆ්‍රඞ් විජේසූරිය හා දෙවන විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර 16 ක සිරදඬුවමක් නියම විය. පසුව ඔවුන් එම තීන්දුවට එරෙහිව අපරාධ අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළෝය. ඒ. සී. අලස් (සභාපති) වී. තාමෝදරම් හා ඩී. විමලරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ එය විභාගයට ගනු ලැබූ අතර එහිදී කලින් තීන්දුවම අනුමත වූ අතර සිරදඬුවම්වල වෙනසක් නොවීය.


වසර 16 ක සිරදඬුවමක් විඳිමින් සිටි විජේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේදී හෘදයාබාධයකින් මිය ගියේය. සිරදඬුවම් විඳ නිදහස් වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටිය දී 1988 - 89 භීෂණ සමයේදී ජවිපෙ සාමාජිකයන් විසින් පිහියෙන් ඇන ඝාතනය කළ බව වාර්තා විය.


“මේක මගේ කරුමෙ... මං කා එක්කවත් තරහ නෑ..” යනුවෙන් මිය යන මොහොතේ ඇය පවසා සිටි බව සඳහන්ය. මිනිසුන්ගේ පහත් ආශාවන් සපුරාලීමට අකමැති වූ අහිංසක තරුණියකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණේ එලෙසිනි. ඇගේ චරිතය ඉතිහාසය පුරා සදාකල් පවතිනු ඇත. ඇයට හිමි ඒ තැන ලබාදීම යුක්තිගරුක පුරවැසියන් වශයෙන් අප සැමගේ යුතුකමයි.

 

 

 

 

 

එම්. තාරික්