අගමැතිවරයකු විසින් විධායක බලතල ඇති ජනාධිපතිවරයකු බෙල්ලෙන් අල්ලා තල්ලු කර මේසයක් යට ගාල් කිරීම හොඳ වැඩක් නොවේ.


1978 වන තෙක්ම ලංකාවේ මුල් පුටුවේ හිටියේ අගමැතිය. නැතහොත් ශ්‍රී ලංකාවේ සුක්කානම කැරකැව්වේ අගමැතිය. ජේ. ආර්. විධායක ජනපති පුටුවට ඇවිත් මෙය වෙනස් කළේය. එවිට අගමැතිට හිමිවුණේ දෙවැනි පුටුවයි. පියුං කෙනෙකුට තරම්වත් බලයක් නැති දෙවැනි තැනයි. පසුව අගමැති සතු බලතල වෙනස් වූ හැටි වෙනම කතාවකි.


මේ එම පුටු මාරුව ගැන කියන විස්තරයක් නොවේ. මෙය හරියටම මීට වසර 40 කට පෙර (1978) මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරින්, හමුදා ප්‍රධානීන් සිය ගණනක් බලාගෙන සිටියදී ශ්‍රී ලංකාවේ දෙවැනි පුටුවේ සිටි මිනිසා මුල් පුටුවේ සිටි මිනිසාගේ බෙල්ලෙන් අල්ලා මේසයක් යටට තල්ලු කොට ඔහුට එහි වකුටුවී සිටීමට ඉඩ සැලැස්වීම පිළිබඳ සිද්ධියයි. මෙහිදී ශ්‍රී ලංකාවේ සේනාධිනායකයාගේ ඉවසීමේ සීමාවේ රතු ඉර පැන්නේ නැත.


කොටින්ම කියනවා නම් අගමැතිවරයා විසින් බලසම්පන්න ජනාධිපතිවරයා මෙසේ මේසයක් යට සිර කිරීම අපහාසයක් හෝ පලිගැනීමක් නොවන බව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ දැනට සිදුවේගෙන යන දේශපාලන විපර්යාසය ගැන විමංශනය කරන විට මෙම සිද්ධිය ලිවීම කාලෝචිත බව සිතේ. මෙම සිද්ධිය සිදුවූයේ 1987 අගෝස්තු 18 වැනිදාය. ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදීය. මැති ඇමතිවරුන් 120 කට වැඩි පිරිසක් ඉදිරිපිටදීය.


හයෙන් පහක බලයක් ලබාගත් ජේ. ආර්. ජයවර්ධන, අගමැති ආර්. ප්‍රේමදාස ප්‍රමුඛ ඇමති මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය. ඊට දින කීපයකට පෙර ඝාතනය කරනු ලැබූ තංගල්ලේ හිටපු මන්ත්‍රී ජිනදාස වීරසිංහ පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාවක් සභාවට ඉදිරිපත් කිරීම සිදුවෙමින් පැවතිණි. වේලාව හරියටම උදේ 9 වූවා පමණකි. පාර්ලිමේන්තු සභා ගර්භයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බ දෙකක් පුපුරා මුළු ශාලාවම දුමෙන් වැසී ගියේය.


මෙම බෝම්බ ප්‍රහාරයෙන් තම ලොක්කා බේරා ගැනීමට ප්‍රේමදාස අගමැතිවරයා, ජේ. ආර්. ජනපතිගේ බෙල්ලෙන් අල්ලා ඔහු මේසයක් යටට තල්ලු කර විනාඩි කීපයක් එය තුළ කොටු කරගෙන සිටියා පමණක් නොව, තමාද ඔලුව බේරා ගැනීමට මේසයට මුවා වීම මෙම සිද්ධියයි. බෝම්බ දෙක පත්තු වුනේය. ලොකුම දෙන්නා බේරුනේය.


මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රම සහ පාර්ලිමේන්තු නිලධාරියෙකුවූ නෝබට් සේනාධීර මෙම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී ජයසූරිය, මොන්ටෙගු ජයවික්‍රම, ඊ. එල්. බී. හුරුල්ලේ යන ඇමතිවරුන් ප්‍රමුඛ 16 දෙනෙකු මෙහිදී තුවාල ලැබූහ. ඇතුලත්මුදලි හා හුරුල්ලේ යන ඇමතිවරුන් දිවි ගලවා ගත්තේ ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසුවය.


මෙම සිද්ධිය මට පැවසුවේ හුරුල්ලේ ඇමතිවරයාය. මම එවකට ඔහුගේ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් තනතුර දැරුවෙමි.


තමාට පියුං කෙනෙකුට තරම්වත් බලයක් නැතැයි කිව් අගමැති ප්‍රේමදාස බලගතු ජනපති ජේ. ආර්. ගේ දිවි රැක ගැනීමට බලයක් මෙසේ සියතට ගත්තේ කෙසේදැයි කියන එක වෙනම කතාන්දරයකි.


ජේ. ආර්. ඉන් දින කීපයකට පසු පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම සිද්ධිය රස කර කර කිව්වේය. ඇමති මණ්ඩලය බලාගෙන සිටියදී ජනාධිපතිවරයෙකුට වැඩි වේලාවක් මේසයක් යට හැංගී වකුටුවී සිටීම හොඳ නැති නිසා තමා විනාඩි කීපයකින් මේසය යටින් එළියට පැමිණි බව ඔහු කිව්වේ කවුරුත් සිනාගන්වමිනි.


මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ඇරඹීම නිමිත්තෙන් මීරිගම පැවැත්වූ ජන රැළියේදීද ජේ. ආර්. මෙම සිද්ධිය ජනතාව හමුවෙහි කියා පෑවේය. මෙසේ තමා මරා දැමීමට තුන් වරක් උත්සාහ කළ බව ඔහු එහිදී කීය. 1958 කැලණියේදී සහ 1976 වැලිමඩදී තමා මරණයෙන් බේරුන හැටි ඔහුගේ කතාවට ඇතුළත් විය. වැලිමඩදී (1976) තමාට එල්ලවූ ගල් පහර පර්සි සමරවීරගේ ඔළුවට වැදී ඔහුගේ ඔළු කට්ට පුපුරා ගිය හැටි ජේ. ආර්. කියද්දී පර්සි සමරවීර එම වේදිකාවේම අසුන්ගෙන සිටියේය. පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ලලිත් ඇතුලත්මුදලිද මෙම වේදිකාවේ සිටියේය.


පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය සිදුවී හරියටම වසර 11 කට පසු 1989 දී ආර්. ප්‍රේමදාසට ජනපතිවීමට ජේ. ආර්. අත දුන්නේ කෘතගුණ සැලකීමක් වශයෙනි. පාර්ලිමේන්තු සිද්ධියෙන් වසර 15 කට පසු (1993) ආර්. ප්‍රේමදාස ජනපතිවරයා මියගියේද බෝම්බ ප්‍රහාරයකිනි.

 

 

සිරී හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට...
ඡායාරූප : අන්තර්ජාලයෙනි