1993 මැයි මස 17 වැනි දින පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ පසු කාගේත් කතාබහට ලක්වූයේ වයඹ හා දකුණු පළාත් සභා ප්‍රතිඵල දෙසය.


පළාත් සභා පනතට අනුව යම් පළාතක් සඳහා සංස්ථාපිත පළාත් සභාවේ කිසියම් මන්ත්‍රීවරයකු එම පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට සමත් වන්නේ යැයි ආණ්ඩුකාරවරයා කල්පනා කෙරේද ආණ්ඩුකාරවරයා විසින් එම මන්ත්‍රීවරයා එහි ප්‍රධාන අමාත්‍යධුරයට පත්කළ යුතු නමුත් පළාත් සභාවට තෝරාපත්කර ගනු ලැබ ඇති මන්ත්‍රීවරුන්ගෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් එක් දේශපාලන පක්ෂයකට අයත් සාමාජිකයින්ගෙන් යුක්තවන අවස්ථාවක ආණ්ඩුකාරවරයා විසින් එම පක්ෂයෙහි නායකයා එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්කළ යුතු බවට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි 4 වැනි වගන්තියේ දැක්වේ. 


වයඹ පළාත් සභා මැතිවරණයේදී මුළු මන්ත්‍රීන් 50 දෙනා පහත සඳහන් පක්ෂවලින් තේරීපත්වූහ.


එක්සත් ජාතික පක්ෂය - 23
පොදුජන එක්සත් පෙරමුණ - 18
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ - 09


මීට අමතරව ජයග්‍රාහී පක්ෂයට (වැඩිම ඡන්ද සංඛ්‍යාවන් ලබාගත් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට) අපේක්ෂකයින් අතරින් තවත් දෙදෙනකු ප්‍රතිලාභ (බෝනස්) මන්ත්‍රීවරුන් ලෙස පත්කරවා ගැන්මට 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 61 “අ” වගන්තියේ (2) වැනි උප වගන්තිය යටතේ හිමිකම ඇත. එම හිමිකමට අනුකූලව කටයුතු කරමින් වයඹ පළාත් සභාවට එම්. යූ. හේරත් මහතාත් එච්. එල්. ඩී. ඇතොන් ලීටස් හිලේරියන් ගුණවර්ධන මහතාත් එජාප පක්ෂයෙත් ප්‍රතිලාභ මන්ත්‍රීන් ලෙස 1993 මැයි 21 අංක 767/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කළේය. මේ ආකාරයටම දකුණු පළාත් සභාවේ මැතිවරණයේදී ඒ ඒ පක්ෂවලින් මහජන ඡන්දයෙන් තේරීපත්වූ මන්ත්‍රීන් සංඛ්‍යාව මෙසේය.


එ.ජා. පක්ෂය - මන්ත්‍රීන් 25
පොදුජන එක්සත් පෙරමුණ - 22
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ - 06


බෝනස් මන්ත්‍රීන් ලෙස ජයසිරි නානායක්කාර මහතාත්, අබේදීර සිරිමල් මහතාත් එක්සත් ජාතික පක්ෂයෙන් (ප්‍රතිලාභ මන්ත්‍රීන්) මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම පළාත් සභා මැතිවරණ දෙකේදීම පළාත් සභාවට තෝරාපත්කර ගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවට වැඩි සංඛ්‍යාවක් එ. ජා. පක්ෂයට දිනාගත නොහැකි විය.


මේ අතර පොදුජන එක්සත් පෙරමුණේ හා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම්වරුන් වන දි. මු. ජයරත්න හා ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ අත්සනින් වයඹ හා දකුණු පළාත් සභා ආණ්ඩුකාරවරුන් වෙත 1993 මැයි මස 21 වැනි දින ලිපි දෙකක් යොමු කරනු ලැබූ අතර ඒ සමඟ පොදුජන එක්සත් පෙරමුණේ හා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීන් ඒකාබද්ධව එම පළාත් දෙකෙහි පාලනය පිහිටුවීමට තම තමන්ගේ කැමැත්ත පළකර සිටීමේ ලිපි හා දිවුරුම් ප්‍රකාශනයක් ද ආණ්ඩුකාරවරුන් වූ මේජර් මොන්ටේගු ජයවික්‍රම (වයඹ), එම්. ඒ. බාකීර් මාකර් (දකුණ) යන අයවලුන් වෙත යොමු කරන ලදී. ඒ අනුව පක්ෂ දෙකේ එකතුව අනුව වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරු 27 වන අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ මන්ත්‍රීධුර 25කි. දකුණු පළාත් සභාවට පක්ෂ දෙකේ එකමුතුවෙන් මන්ත්‍රීධුර 28 හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ මන්ත්‍රීධුර 27කි. ඒ අනුව ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා සිටියේ වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරු බහුතරයක බලය ලබන ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතාත් දකුණු පළාත් සභාවට මන්ත්‍රී බහුතරය ඇති අමරසිරි දොඩංගොඩ මහතාත් පත්කරන ලෙසය.


නමුත් 1993 මැයි 21 වැනිදා පෙරවරු 10.00 ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවාස තුළදී වයඹ පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාත් දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක එම්. එස්. අමරසිරි මහතාත් සුභ මොහොතින් දිවුරුම් දුන්හ. මෙම දිවුරුම් දීම පිළිබඳව විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා හමුවී උද්ගත විය හැකි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී.


තත්ත්වය මෙසේ තිබියදී වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාත් දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි එම්. එස්. අමරසිරි මහතාත් එම ධුරවල කටයුතුවලින් වැළැක්වීමේ සර්ටියෝරාරි මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තියට අනුව ජී. එච්. ප්‍රේමචන්ද්‍ර හා අමරසිරි දොඩංගොඩ යන මහත්වරුන් 1993 මැයි 24 වැනිදා අභියාචනාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කරනු ලැබීය. ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ ආණ්ඩුකාර මේජර් මොන්ටේගු ජයවික්‍රම හා ප්‍රධාන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතාත්ය. අමරසිරි දොඩංගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ ආණ්ඩුකාර බාකීර් මාකර් මහතා සහ ප්‍රධාන අමාත්‍ය එම්. එස්. අමරසිරි මහතාය.


ඒ අතර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවත් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ඔහු සුදුසු නොවන බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් වයඹ පළාත් සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග කර ජයගත් මහව, පොල්පිතිගම, එච්. බී. අබේරත්න මහතා විසින් 1993 ජුනි 08 වන දින අභියාචනාධිකරණය වෙත ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ අතර පළාත් සභා මැතිවරණයකදී සිදුවූ තේරීපත්වීමකට විරුද්ධව ඉදිරිපත් කරන ලද මුල්ම මැතිවරණ පෙත්සම ලෙස එය හැඳින්වේ.


ආණ්ඩුකාරවරුන් දෙදෙනා විසින් වයඹ හා දකුණු පළාත් සභා සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් පත් කරනු ලැබ ඇති ආකාරය පිළිබඳව විරෝධය පළ කරමින් එම පළාත් දෙකෙහි ප්‍රධාන අමාත්‍යධුරයන් සඳහා තරග කළ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර හා අමරසිරි දොඩංගොඩ යන මහත්වරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් පුරා සිවු මසක් තිස්සේ විභාගකර බැලූ විනිසුරු මඬුල්ලේ තීන්දුව 1993 ඔක්තෝබර් 08 වැනි දින ප්‍රකාශයට පත් කළේය.


අභියාචනාධිකරණයේ සභාපති කේ. පාලකිඞ්නර්, සරත් එන්. සිල්වා, ඩී. පී. එස්. ගුණසේකර විනිසුරු තුන් කට්ටුවේ ඒකමතික තීරණය අනුව වයඹ හා දකුණු පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් විසින් එම පළාත් සභාවලට ප්‍රධාන අමාත්‍යවරුන් පත්කර ඇති ආකාරය අයුක්ති සහගත හා නීතිවිරෝධී බවත් එම පත්වීම් අවලංගුකොට නීත්‍යානුකූල ප්‍රධාන අමාත්‍යවරුන් පත් කිරීමට නැවත කටයුතු යොදන ලෙසත් නියෝග කරමින් එම ආණ්ඩුකාරවරුන් දෙදෙනා වෙත කෝවොරොන්ටෝ ආඥාවක් නිකුත් කළේය. ඊට පෙර ආණ්ඩුකාරවරයකුගේ මතයක් අභියෝගයට ලක්කළ හැකි ද යන්න පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ගැටලුවක් මතුවූයෙන් ඒ පිළිබඳ අර්ථනිරූපණයක් ලබා ගැන්මට අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගැටලුව යොමු කර තිබුණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් ආපසු අභියාචනාධිකරණය වෙත එවමින් පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍යවරුන් පත්කළ ආකාරය පිළිබඳ කිසියම් ගැටලුවක් ඇතිවුවහොත් ඒ පිළිබඳව තීන්දුවක් ගැනීමේ බලය අභියාචනාධිකරණයට ඇති බවට තීන්දු කර තිබුණි. වයඹ හා දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනා ප්‍රධාන අමාත්‍ය පත්වීම් දීමේදී ක්‍රියාකර ඇත්තේ තමන් අසා දැනගත් තොරතුරු අනුව මිස තමන් පත් කරන ලද ප්‍රධාන අමාත්‍යවරුනට සභාවෙහි වැඩි දෙනකුගේ සහය ලැබෙන බව සහතික කොට ගෙන නොවන බවත් ආණ්ඩුකාරවරු සිය අභිමතය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව විසින් සිය ඡන්දයෙන් මන්ත්‍රීවරුන් තෝරාපත් කරගෙන සිටි ආකාරයට ගරු කළ යුතු බව ද නඩු තීන්දුවේ සඳහන් කර තිබුණි.


මේ අනුව එම්. එස්. අමරසිරි මහතා වෙත දකුණු පළාත් සභා ආණ්ඩුකාරවරයා ලබාදෙන ලද ප්‍රධාන අමාත්‍ය ධුරය ද වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ජයවික්‍රම පෙරේරා මහතා වෙත ලබාදෙන ලද පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය ද අහෝසි වී ගියේය. 


ඒ අනුව 1993 ඔක්තෝබර් 11 වැනිදා වයඹ පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා වයඹ ආණ්ඩුකාර මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතා ඉදිරියේ කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි ආණ්ඩුකාරවරයාගේ නිවසේදී දිවුරුම් දෙන ලදී. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් අමරසිරි දොඩංගොඩ මහතා ආණ්ඩුකාර බාකීර් මාකර් මහතා ඉදිරියේ ඔක්තෝබර් 12 වැනි දින ගාල්ලේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.


පළාත් සභා ප්‍රධාන අමාත්‍යධුරයක් උසාවිය මගින් ලබා දෙන ලද ප්‍රථම හා එකම අවස්ථාව මෙය විය.

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ