“අපේ රටේ තියෙන්නේ ජනවාර්ගික හෝ ජාත්‍යන්තර ප්‍රශ්නයක් නෙවෙයි. අභ්‍යන්තර ගැටලුවක්. ඒ නිසා ජනතාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එකතුවෙලා තමයි විසඳුම් හොයන්න වෙන්නෙ. ඉන්දියාවට තියෙන්නෙ ඒ විසඳුම ක්‍රියාත්මක කරන්න සහය දෙන එක විතරයි.” විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඉන්දීය අග්‍රාමාත්‍ය නරසිම්හ රාවෝ මුණගැසී මුහුණට කීවේය. උතුරුකරෙන් ජනිතව පිළිලයක් සේ රටපුරා විහිදී ගිය එල්.ටී.ටී.ඊ සන්නද්ධ අරගලයේ එකම අරමුණ වූයේ මධ්‍යම ආණ්ඩුවෙන් සහමුලින්ම වෙන්වී ස්වාධීන ඊළාම් දේශයක් ස්ථාපිත කිරීමයි.
 
විදේශ අමාත්‍ය ධුරය කෘතහස්ත නීති විශාරදයකු මෙන්ම විචාරශීලී දේශපාලනඥයකු දෙමළ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් වෙත පැවරෙනතුරු ඊට පිළියම් සෙවූ දෙස් විදෙස් සෑම සාම නියෝජිතයකුටම මෙන්ම රාජ්‍ය නායකයන්ට ද දැනුණේ මෙහි අවසන් තීරකයා ඉන්දියාව වියයුතු බවයි.


මෙම මතවාදයට එරෙහි වූ කදිරගාමර් පැවසුවේ අන්තවාදී එල්.ටී.ටී.ඊ. ඉල්ලීම්වලට සවන්නොදී ඉන්දියානු සහයෝගය ලබාගෙන අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන පරිදි ස්වෛරී ස්වාධීන විසඳුමක් මගින් පමණක් මෙම අර්බුදය විසඳිය යුතු බවයි.


එල්.ටී.ටී.ඊ සංවිධානයට අභියෝගයක් වූ කදිරගාමර්ගේ සංකල්පය නිසා ඔහු ප්‍රභාකරන්ගේ ඉලක්කයක් විය. ඔහු වැන්නෙක් විදේශ ඇමැතිධුරය දැරීමත් අනාගත සුළු ජාතික නායකත්වයට යෝජනා වීමක් නිසා කුපිත වූ අන්තගාමීන් විසින් කදිරගාමර් ඝාතනය කරන ලදී. 


1911 දී ව්‍යවස්ථාදායකයට යායුතු උගත් දෙමළ නියෝජිතයා ලෙස පළමුවරට තෝරා ගැනුණේ පොන්නම්බලම් රාමනාදන්ය. එහි දෙමළ නියෝජනය වැඩිකරන ලෙස බි්‍රතාන්‍ය ආණ්ඩුවට යෝජනා ගලා එන්නට විය.
1948 දී නිදහස් පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය වූයේ 24% කි. ප්‍රථම කැබිනෙට්ටුවේ දී විදුලි සංදේශ ඇමැති තනතුර සී. සිත්තම්පලම්ට ද වාණිජ ඇමැතිධුරය සුන්දරලිංගම්ට ද හිමිවිය.

 

1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්වලට පහර වදින බවට චෝදනා එල්ල වූ අතර ඉන්පසු කිසිදු දෙමළ මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු ආණ්ඩුපක්ෂය නියෝජනය කර නොමැත.
1970 දී සිංහල හා දෙමළ ජනතාව අතර අර්බුදකාරී වාතාවරණයක් ඇතිවන ලකුණු පහළ විය. 1972 දී නව ජනරජ ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍යසභාව තුළ සිටි මන්ත්‍රීවරුන් 157 න් දෙමළ මන්ත්‍රීවරු සිටියේ 19 ක් පමණි.


1977 දී බලයට පැමිණි යු.ඇන්.පී. ආණ්ඩුවේ විපක්‍ෂනායක ධුරය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමීර්තලිංගම් වෙත පිරිනැමිණ. ඒ ශ්‍රීලනිපය ලැබූ දරුණු පරාජය නිසාය. මෙම තත්ත්වය දෙමළ ජනතාව ලැබූ සුවිශේෂී වරමක් විය.


එහෙත් 1983 අගෝස්තු මස 03 වැනි දින සම්මත වූ හයවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා උතුරු - නැගෙනහිර දෙමළ නියෝජිතයන්ට අවාසිසහගත තත්ත්වයක් උදාවිය.


ඊළාම් හෙවත් වෙනම ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් සටන් කළ අන්තගාමීන්ට ඉන්මරු පහරක් වැදිණ. ව්‍යවස්ථාවේ ‘හත්වැනි වගන්තියේ” වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අදාළ සියලු කටයුතුවලින් ඉවත්වන බවට සියලු මහජන නියෝජිතයන් දිවුරුම් දිය යුතුය” යැයි සඳහන් විණ. 


එබැවින් ඊට විරෝධය පෑ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කළහ. එබැවින් ඔවුන්ගේ ධුර අහෝසි කෙරිණ.


මේ අතර 1983 ජුලි 26 වැනිදා උතුරේදී යුද හමුදා සෙබළුන් 13 දෙනකු මරාදැමීම නිසා ජුලි කලබල සමය නිර්මාණය විය. මිනිමැරුම් 471 ක්, තුවාල කිරීම් 3769 ක් ගිනි තැබිම් 8077 ක් කොල්ලකෑම් 3035 සිදුවූ අතර අනාථ වූ දෙමළ ජනතාව දළ වශයෙන් 133,000 කි. ඉන්දියාවට පලාගිය දෙමළ සරණාගතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවිණි.


මෙම ගැටලුව විසඳීමට සර්ව පාක්ෂික සමුළුව මගින් පත්කළ ඒකකයට විරෝධය පළවිණ. 1985 දී තිම්පු සාකච්ඡා තුළින්ද බලය විමධ්‍යගත කිරීමට යෝජනා විය. 1987 දී ඉන්දු - ලංකා ගිවිසුම මගින් ඉන්දු මිත්‍රත්වය මත විසඳුම් සෙවූ අතර එහි දෙවන වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ගෙන එන ලදී.


ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවන බව පැවසීමයි. ඒ අනුව එම පළාත් සභාව අහෝසිවිණ. මේ අතර වෙනම රාජ්‍ය සංකල්පය කරා ජනතාව උසිගන්වමින් දෙමළ ඊළම් විමුක්ති කෙටි සංවිධානය :ඛඔඔෑ* ඉස්මතු විය.
එහි පළමු ගොදුර වූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් ඝාතනයයි.


කෙසේ වෙතත් ජනපති ආර්. ප්‍රේමදාස යුගයේදී ඊළාම් සංකල්පය ආසුධ සන්නද්ධ කැරැල්ලක් බවට පැතිරී යන්නට විය. ජේ.ආර්. ඉන්දියාව සමඟ මිත්‍රත්වය පාමින් සාමසාධක හමුදාවට ඇරයුම් කළ නමුත් ප්‍රේමදාස ජනපතිවරයා වහා ඔවුන් රටින් පිට කළේය. 


අනතුරුව ඊළාම් යුද්ධයකට රට ඇදී ගියේ නිතැතිනි. යුද්ධයෙන් වටිනා ජීවිත හා දේපොළ රැසක් රටට අහිමිවිණ. ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට ද අකල් මරණයක් අත්විණි. මෙරට අනාගතය භාරගැනීමට සිටි දේශපාලන චරිත රැසක් අකාලේ ඝාතනය විය.


1994 වන විට දේහපාලන වේදිකාවේ ප්‍රධාන පොරොන්දුව මෙන්ම පාලන තන්ත්‍රයේ ප්‍රධාන සැලසුම වූවේ යළි සාමය උදා කරදීමයි. දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි යැයි සිතෙන සැම උපායක්‍රමයක්ම යෙදවීමට පාලකයන් උත්සාහ කළත් ඔවුන්ට වූයේ ත්‍රස්තවාදයට ගොදුරුවීමත් ඉන්දියාවේ බලපෑමට යටත් වීමටත්ය.


දේශීය දේශපාලනඥන්ගේ යෝජනා හා විසඳුම් කෙරෙහි විශ්වාසය බිඳුණු බැවින් ජාත්‍යන්තර සාම දූතයන්ගේ උපකාර ලබා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. මෙතෙක් කල් සම්පත්. මධ්‍යස්ථානයක් ලෙස දකුණු ඇසට ලක්ව තිබූ  ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමට මෙය සුදුසු අවස්ථාවක් බව බලගතු රටවලට පෙනිණ.


දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි අවංක දෙමළ නායකයකු සොයා ගැනීමට 1994 දී බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවේ ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අවධානය යොමුවිණ.


ඒක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අමාරු වැඩක්. රට ඇතුළ විතරක් නොවෙයි ලෝකෙම විස්වාසෙ දිනාගත්ත දෙමළ නායකයෙක් කොහෙන් හොයන්නද? දේශපාලන විචාරකයෝ සැක පහළ කළහ.
‘ලක්ෂ්මන් කදිරගාමර් නැමති චරිතය ඉස්මතු වන්නේ මෙම අවස්ථාවේදිය.


1932 අප්‍රේල් 12 වැනිදා යාපනයේ ප්‍රභූපවුලක උපත ලැබ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ අතර නීතිය, දේශපාලනය, ආර්ථිකය, සාමය, රාජ්‍යතාන්ත්‍රික සබඳතා, අන්තර්ජාතික ගැටුම් නිරාකරණය ආදී විෂයයන් පිළිබද පුළුල් දැනුමක් ඇති විද්වතකුලෙස කිර්තියට පත්විණ. ඔහු 1994 සිට 2001 දක්වාද 2004 සිට 2005 දක්වා ද මෙරට විදේශ කටයුතු අමාත්‍යධුරය දැරීය.


කිතුනුවකු ලෙස ඡන්ම ලාභය ලැබුවද බෞද්ධ මෙන්ම හින්දු ආගමික සංස්කෘතීන් පිළිබඳ උසස් දැනුමක් ඔහු සතු විය. භගවත් ගීතාව, බයිබලය කුරාණය මෙන්ම ධම්මපදය පිළිබඳ විශාරයකු විය. එබැවින් සර්ව ආගමික විශ්වාසයන් දිනා ගැනීමට කදිරගාමර් සමත්විය.


1963 දී වියට්නාමයේ ඇති වූ බෞද්ධ කතෝලික අරගලයේදි විමර්ශන කොමසාරිස්වරයෙකු වශයෙන් ජාත්‍යන්තර කොමිසමට ඔහු පත්කළේය. වෙසක් පුන්පෝය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස නම් කළේ එතුමාගේ අනුග්‍රහයෙනි. 1990 දී නීති ප්‍රතිසංස්කරණ උපදේශක ඉදිකිරීම් කර්මාන්ත උපදේශක 1991, ජනාධිපති උපදේශක තනතුරු දැරිය. අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ඔහුගේ සමීපතමයකු වූ අතර කදිරගාමර්ට පසු ඔක්ස්ෆර්ඞ් සරසවි ශිෂ්‍ය සංගමයේ තනතුරු දැරුවේත් ලලිත් පිහිටු වූ ප්‍රජාතන්ත්‍රන්වාදී එක්සත් පෙරමුණේ නීති සැකසුවේත් කදිරගාමර් ය.


ලලිත් ඇතුලත්මුදලිගේ අනුදැනුම මත 1994 දී පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නීති විශාරද කදිරගාමර් පාර්ලිමේන්තුවට පත්කෙරිණ. එවිට ඔහුගේ වයස අවු. 62 කි. මුලින්ම ඒ සඳහා බණ්ඩාරනායක මැතිනිය තීරණය කර තිබුණේ අගවිනිසුරු සුප්පයියා ශර්වානන්දන්ගේ නම බව ඇගේ සොහොයුරු බී.එස්.සී. රත්වත්තේ පවසා තිබිණ.


2004.04.02 වැනිදා යූ.ඇන්.පි.ය පරදා පොදු ජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිණ. ජනතා විමුක්ති පෙරමුණ ද ආසන 40 ක් දිනා තිබිණ. ඔවුන් යෝජනා කළේ නව ආණ්ඩුවේ අගමැති තනතුර ලක්ෂ්මන් කදිරගාමර්ට හිමිවුවහොත් උතුරේ අර්බුදයට විසඳුමක් ලබා ගතහැකි බවයි. එහෙත් අගමැතිකමට එකම සුදුස්සා මහින්ද රාජපක්ෂ බව බහුතරයකගේ අදහස විණ. නමුත් අගමැතිකම ඉල්ලා එදාද අද මෙන්ම මහින්ද ජනපතිනිය පසුපස නොගියේය.


කදිරගාමර් අගමැති වුවහොත් ඔහු මෙරට පළමුවැනි දෙමළ අගමැති වන අතර අනාගතයේදී නියෝජ්‍ය ජනපතිවරයකු බිහිවුවහොත් පළමු නියෝජ්‍ය ජනපතිවනු ඇතැයි සමහරු අනාවැකි පැවසූහ.
කදිරගාමර් තුළ අන්තවාදී ඊළාම් රාජ්‍යයක් ගැන ප්‍රසාදයක් නොවිණ. “එල්.ටී.ටී.ඊ.ය වනාහී සාමය හා සංහිඳියාව ගැන සාකච්ඡා පැවැත්විය යුතු සංවිධානයක් නොවෙයි. ඔවුන් අසාධාරණ මිනිමරු කල්ලියක් විතරයි. කදිරගාමර් ලෝකයට අවස්ථා කිහිපයකදීම එඩිතරව පැවසීය. එය ඊළාම් සටනට බලවත් තර්ජනයක් විය.


“ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ගැළපෙන විසඳුමක් පමණයි අවශ්‍ය. මගේ ජාත්‍යන්තර නීති දැනුම අනුවයි මෙහෙම කියන්නේ.”


කදිරගාමර්ගේ අදහස් කිසිදු ඊනියා සාමදුතයකුගේ අදහසට ගැළපුණේ නැත. එහෙත් මීට කලකට පෙර දිවංගත වූ නීලන් තිරුචෙල්වම්ගේ අදහස් ඊට සමීප විය.


‘බලය බෙදීමේ ඒකකයක් ලෙස උතුරු - නැගෙනහිර එක්කිරීම බරපතළ වරදක්’ එදා නීලන් කීවේය. මෙවැනි අදහස් ඇති නායකයකු බිහි වෙතැයි කලබල වූ අන්තවාදීහු 2005 අගෝස්තු 12 වැනිදා වීරෝදාර ලංකා පුත්‍රයාගේ දිවි ගමන රුදුරු ස්නයිපර් වෙඩි උණ්ඩයකින් නිමා කළහ.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි