ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල තිබෙන්නාවූ ගැටලුවලින් ප්‍රධාන තැනක් ගන්නේ ඉඩම් ප්‍රශ්නයයි. දෙවැනි පරම්පරාවේ බොහෝදෙනකුට තමන්ට යැයි කිව හැකි ඉඩමක් නොමැතිවීම, අවශ්‍යතාවන්ට සරිලන සේ ඉඩම් නොමැතිවීම සමහර ප්‍රදේශවල මුඩු ඉඩම් තිබුණත් ජලය නොමැතිකම ආදී ප්‍රශ්න නිසා පදිංචියට නුසුදුසු වීම හා වගාවටද නුසුදුසු වීම සමහර ඉඩම් නිරවුල් නොවීම, ඉඩම්වලට නිසි ඔප්පු නොලැබීම සමහරු බලෙන් ඉඩම් අල්ලාගෙන සිටීම, අඳ ගොවීන්ගේ ඉඩම් ප්‍රශ්න ඉඩම් හිමියන්ගේ ප්‍රශ්න සමහරෙකුට ජීවත්වීමට මෙතෙක් කිසිදු ඉඩම් කැබැල්ලක් නොමැතිවීම ආදී සංකීර්ණ ප්‍රශ්න රැසක් ඉඩම් ක්ෂේත්‍රය තුළ දක්නට ලැබේ.


ඉඩම් ක්ෂේත්‍රය කොතරම්දුරට ජනතාවගේ ප්‍රශ්න හා ඒ ඒ රජයන්හි ප්‍රතිපත්තීන් සමග ගැටෙන්නේද සංකීර්ණද විවාද සම්පන්නද යන්න මෑතක මතුවූ ඉඩම් සංශෝධන පනත් පිළිබඳව රජය හා එක් එක් පාර්ශ්වයන් දක්වන අදහස් තුළින්ද මනාව පැහැදිලි වේ. කෙසේ වුවද ශ්‍රී ලංකා ඉතිහාසය හා ජනගහන වර්ධන වේගය පිළිබඳව සාකච්ඡා කරන විට අතීතයේ එක් පුද්ගලයෙකුට නැතිනම් එක් පවුලකට විශාල ඉඩම් ප්‍රමාණයක් අයිතිව තිබූ බව නින්දගම් හා පැරණි පරම්පරාවන්හි වතගොත පරික්ෂා කිරීමේදී මැනවින් පැහැදිලි වේ. එක් උදාහරණයක් පෙන්නුම් කළහොත් ප්‍රථම කතානායක මොලමුරේ මහතාට මඩුවන්වල වලව්වට අයත් අක්කර 83,000 කින් යුත් පනාමුර ඇත්ගාල අයිතිව තිබූ බව කියවේ. ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා මින්නේරිය, කවුඩුල්ල - පොළොන්නරුව - බඳගිරිය - බැරගම ආදී ගොවිජනපද රාශියක් ඉඩම් බෙදාදීමේදී ගොඩමඩ ඉඩම් අක්කර 5 ක් පමණ මුල්කාලීනව බෙදාදුන් අතර ඊට පසු වෙනත් ආණ්ඩු යටතේ ගොඩින් අක්කර භාගයක් හා මඩින් අක්කර 2 ක් ලබාදුන් අයුරුත් මතකයට නැගේ. ඉඩම් සීමාකිරීමේ පනත් මගින් විශාල පරිමාණයේ ඉඩම් සන්තකව තිබූ සමහරුන්ගේ අක්කර දහස් ගණන් ඉඩම් අක්කර 50 ට සීමා කළ කාලපරිච්ඡේදයන්ද අපගේ මතකයට නැගේ.


මෑතකාලීනව පොල් ඉඩම් කට්ටිකර වෙන්දේසි කිරීමේ ක්‍රමයක්ද දක්නට ලැබෙන අතර පරිභෝජනය කිරීමට ඉතිරි වී ඇති ඉඩම් ප්‍රමාණය ඉතාම අල්ප වීම නිසා තට්ටු නිවාස වැඩි වැඩියෙන් සෑදීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබේ. මේ අතර සමහර ප්‍රදේශවල කැලෑව පරිසරය වනසමින් විනාශ කරමින් සිදු කරන පදිංචි කරවීම් මුළුමහත් ජාතියටම මහත් ව්‍යසනයක් වී ඇත. ඉඩම් පරිහරණය හා ඉඩම් අවශ්‍යතාව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු කාලය එළඹ ඇති බව යථෝක්ත කරුණුවලින් පැහැදිලි වන අතර මෙය ඉතා ගැඹුරින් දත්ත සහිතව විග්‍රහ කරගත යුතු බව මවිසින් පෙන්නුම් කරන ලද්දේ දළ සටහනක් මගිනි.


කෙසේ වුවද අප මහජන නියෝජිතයින් වශයෙන් වැඩ කරන ලද කාල පරිච්ඡේදයන්හි මුහුණපෑමට සිදුවූ ප්‍රශ්නවලින් වැඩි හරියක්ම ඉඩම් ප්‍රශ්න බව සඳහන් කිරීම නිවැරදි යයි සිතමි.


හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වශයෙන් වැඩ කරන සමයෙහි සෑම ඉරිදාවකම පවත්වන ජනහමුවේදී ඉඩම් ප්‍රශ්න වැඩිපුර ඉදිරිපත් වේ. විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ලුණුගම්වෙහෙර අඟුණකොළපැලැස්ස වැනි ප්‍රදේශවල ඉඩම් ප්‍රශ්න ගොඩගැසෙමින් තිබුණි. සූරියවැව මහවැලි බල ප්‍රදේශයේ ඉඩම් ප්‍රශ්න එකින් එක පටලැවෙමින් දිග්ගැස්සෙමින් පැටලුණු නූල් බෝලයක ආකාරයෙන් පැවතුන ආකාරය මාහට හොඳහැටි මතකය. ඉරිදා දිනට දහස් ගණන් ජනතාව අප හමුවූයේ තම තමන්ට බලපා ඇති ඉඩම් ප්‍රශ්නවලට යම්කිසි විසඳුමක් ලබාගැනීම සඳහාය. ලුණුගම්වෙහෙර පැරණි ගම්මාන ප්‍රදේශයේත් නව ගම්මාන ප්‍රදේශයේත් මෙම ඉඩම් ගැටලු ප්‍රශ්නයේ කිසිදු අඩුවක් නොවීය. ඒවාට විසඳුම් සෙවීමද ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. සමහර දේශපාලනඥයින් හා සමහර නිලධාරීන් වරින්වර මෙම අවුල් සහගත තත්ත්වය තව තවත් වැඩිකළා මිස ඒවා සමනය නොකිරීම නිසා තත්ත්වය තව තවත් උග්‍රවිය.


ඉතාමත් සංකීර්ණ වූ මෙම වාතාවරණය යටතේ ඉඩම් ගැටලු විසඳීමට ප්‍රමුඛතාවක් දක්වා විවිධ ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන අතරතුර 1994 පෙබරවාරි මාසයේ දින කීපයක් වෙන්කර මවිසින් එවකට ඉඩම් අමාත්‍යවරයාව සිටි ජනාධිපති නීතිඥ පෝල් පෙරේරා මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන්වා ගැනීමට අදහස් කළේ පවතින ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීමටය. පෝල් පෙරේරා මහතා ජනතා ප්‍රශ්න සාවධානව ඇහුන්කන් දෙන අයෙකු ලෙස මම හඳුනාගෙන සිටියෙමි. හම්බන්තොට දිසාවේ ලුණුගම්වෙහෙර සූරියවැව ප්‍රදේශ පමණක් නොව අඟුණකොළපැලැස්ස තංගල්ල ආදී ප්‍රදේශවලද මතුව තිබූ ඉඩම් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම එහි අරමුණ විය. මේ අතර තවත් විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ විහාරස්ථානවලට ඉඩම් ලබාදීම හා විහාරස්ථානවලට ලැබී ඇති ඉඩම්වලට ඔප්පු ලබාදෙන ලෙසත් වෙනත් ආකාරයේ විවිධ ඉඩම් ගැටලු විසඳා දෙන ලෙසත් සමහර ස්වාමීන් වහන්සේලා කර තිබූ ඉල්ලීම්ය. මේ අනුව පෝල් පෙරේරා අමාත්‍යවරයා ගෙන්වා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ එක් දිනක්ද සූරියවැව ප්‍රදේශයේ එක් දිනක්ද අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ එක් දිනයක්ද තංගල්ල ප්‍රදේශයේ තවත් දිනයක්ද වශයෙන් දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීමට විශාල වැඩසටහනක් සංවිධානය කළේය. ඒ අනුව 1994 පෙබරවාරි 24 වැනි දින පළමු වැඩසටහන ලුණුගම්වෙහෙර රජමහ විහාරය ආසන්නයේ පවත්වන ලද අතර දිනය පුරාම රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳීමට අමාත්‍යතුමාත් මමත් එවක ප්‍රාදේශීය ලේකම් (ලුණුගම්වෙහෙර) සේන ජයසූරිය මහතාත් ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීනුත් හම්බන්තොට දිසාපතිවරයාත් සැදී පැහැදී සිටියෙමු.


මේ අනුව දහස් ගණනක් ජනතාව නොයෙක් ආකාරයේ ඔප්පු තිරප්පු ලිපිලේඛන අභියාචනා අතේ රුවාගෙන උදේ 8.00 සිටම රැස්ව සිටියහ. පෝල් පෙරේරා ඇමතිතුමාත් මමත් දිසාපතිතුමාත් ප්‍රාදේශීය ලේකම්වරයාත් පෙරවරු 9.00 සිට සවස 5.00 පමණ වනතෙක් මහජනතාවගේ ඉඩම් ප්‍රශ්නවලට විසඳුම් ලබාදුන්නෙමු. සවස 5.00 ට වැඩසටහන පැවැත්වූ නමුත් තවත් දහස් ගණනක් ප්‍රශ්න ඉදිරිපත් කරගන්නට නොහැකිව ඉතිරිව සිටියහ. කෙසේ වුවත් ඉඩම් ඇමතිතුමාට කෙසේ හෝ ඔබතුමා හෙටත් ඉඳල මේ ප්‍රශ්න ටික විසඳලම ගියොත් ලොකු සහනයක් උදව්වක් කියා මම කීවෙමි. මගේ ඉල්ලීම පිළිගත් ඇමතිතුමා තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් නවාතැන් ගෙන ඊට පසුවදා උදේ 9.00 වන විට නැවතත් ලුණුගම්වෙහෙරට පැමිණියේය. ප්‍රාදේශීය ලේකම්තුමාත් මමත් එයට සහභාගි වූයෙමු. එදා කලින් දවසට වැඩිය මහ සෙනඟක් පැමිණ සිටියහ. ලුණුගම්වෙහෙර නව ගම්මානවල අය පමණක් නොව මත්තල උඩමත්තල දෙව්රම්වෙහෙර පඩව්ගම උනාකුවැව බෝගහවැව, පල්ලෙමලල, බඳගිරිය, වැලිගත්ත, බූන්දල ආදී අවට ගම්මානවලින් විශාල පිරිස් වශයෙන් සෙනඟ ඇවිත් සිටියහ.


මා මුලින් සඳහන් කළ පරිදිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රශ්න ඒ තරම්ම ගොඩගැසී තිබුණි. ඇමතිතුමාත් මේ තරම් ඉඩම් ප්‍රශ්න තිබීම ගැන පුදුම විය. කෙසේ වෙතත් එදා සවස 5.00 පමණ වනතෙක් විසඳලත් ඉවර කර ගන්න බැරිවිය. ඊට පස්සෙ මාගේ බලවත් ඉල්ලීම අනුව තවත් දවසක් ලුණුගම්වෙහෙර ඉඩම් ප්‍රශ්න විසඳීමට ගත කළ ඇමතිතුමා අන්තිමට කීවේ මාසයක් පුරා වැඩසටහනක් කරලාවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රශ්න විසඳිල්ල ඉවරයක් කරන්න නම් බැරි බවයි. තුන්වැනි දවසේ එම ස්ථානයට වැඩම කළ එවකට ලුණුගම්වෙහෙර, කැන්දගස්මංකඩ හෙවත් දෙකේ කොළනියෙහි විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පිටකටුවන රතනසිරි ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටියේ පන්සල් භූමියටම යාබදව ගල්තලාවක් ඇති බවත් එය විහාරස්ථානයට ලබාදෙන ලෙසත්ය. විහාරස්ථානයේ චෛත්‍යයක් ඉතා අලංකාර ලෙස ඉදිකිරීමට එය උපකාරී වන බව උන්වහන්සේ ප්‍රකාශ කළ නිසා එයද පන්සලට ලබාදීමට ඉඩම් ඇමතිතුමා එකඟවුණු බව මා හට මතකය. කෙසේ හෝ එක් දිනක් පැවැත්වීමට සැලසුම් කර තිබූ ලුණුගම්වෙහෙර ඉඩම් ගැටලු විසඳීමේ වැඩමුළුව දින තුනක්ම පැවැත්වීමට සිදුවීම ගැන ඇමතිතුමා පුදුම විය. පමණක් නොව සැලසුම් කර තිබූ පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රදේශවල ඉඩම් ගැටලු විසඳීමේ වැඩමුළු පවත්වන්නටද නොහැකි විය. හේතුව එක දිගට ලුණුගම්වෙහෙරේ පමණක් දින 3 ක් රැඳී සිටීමට සිදුවීමයි. ඈත දුෂ්කර හම්බන්තොට වැනි ප්‍රදේශවල මේ තරම්ම ඉඩම් ගැටලු ගොඩගැසී තිබේදැයි කියා ඉඩම් ඇමති පෝල් පෙරේරා මහතා පුදුමයට පත්විය. ඒ අනුව දිස්ත්‍රික්කයේ අනික් ප්‍රදේශවලට පසු දිනක පැමිණීමේ අපේක්ෂාවෙන් ඇමතිතුමා කොළඹ බලා පිටත් විය. කෙසේ වුවද ඊට පසුව හෝ කලින් සැලසුම් කරන ලද අනිකුත් ප්‍රදේශවල එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ඉටුකරන්නට නොහැකි වූයේ ඉන් මාස දෙක තුනකට පසු ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා හදිසියේම නියමිත කාලයටත් පෙර පාර්ලිමේන්තුව විසිරවීම නිසාය.