ටයි කෝට්, මගුල් සාරි වලින් සැරසි මගුල් පෝරුවල නැගී වැඩිහිටියන්ට වඳිමින් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නට අකමැති වූ තරුණ යුවළක් දෙපාර්ශවයේම ආශිර්වාද මධ්‍යයේ සූදානම් කළ මගුල් උත්සවයකට සහභාගි නොවී මගුල් දිනට දින කිහිපයකට පෙර පැදුරටත් හොරා ගමින් පිටව යාමේ පුවතක් ඌව පළාතේ පිටිසර ගමකින් වාර්තාවේ.
ඔවුන්ගේම හිතවතෙකු පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඔවුන් දෙදෙනාම එකම රජයේ ආයතනයක රැකියාවන්හි නිරත වූවෝය. චාම් සරල දිවි පෙවතකට පුරුදුව සිටි දෙදෙනා අතර තිබූ මිතුදම කෙටි කලකදී පෙම් දමක් බවට පත් වූයේ ද ඒ නිසාමය.
මෙම පෙම් සබඳතාවට නිවෙස්වල වැඩිහිටියෝද අකමැත්තක් නොදැක්වූහ.
චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර මහ උත්සවයක් පවත්වා දෙදෙනා විවාහ කරදීම දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේද එකම අරමුණ විය. මාපියන් එසේ සිතුවත් අනවශ්‍ය වියදම්වලට මෙන්ම පුහු ආටෝපවලට මුල සිටම අකමැති වූ තරුණ යුවළ කීප විටක්ම ඒ ගැන දෙපාර්ශවයේ ඥාතීන් සමග කතා කළද මාපියෝ සිය ස්ථාරවය වෙනස් නොකළහ.
මංගල දිනය ආසන්න වෙද්දී රුපියල් දස දහස් ගණනින් වැය කර මගුල් ඇදුම් පමණක් නොව විවිධ සැරසිලි ද නවීණ පන්නයට ඉවුම් පිහුම් කරන්නෝද සුදානම් කරන්නට දෙපාර්ශවයේම ඥාතීහු උපරිමයෙන් වෙහෙස වී කටයුතු කළේ එය ඉතා ඉහළින් සමරන්නට ඇති ආසාවටත් වඩා එහි රඟ ගමට පෙන්වන්නට අවශ්‍යය නිසාමය. කෙසේ වෙතත් තම ස්ථාවරයේම රැඳී සිටි තරුණ යුවළ අවසානයේ තීරණයක් ගත්හ.
ආයතනයෙන් නීත්‍යානුකූලව දින කීපයක නිවාඩුවක් ලබා ගත් ඔවුහු ඇඳුම් පැළඳුම් කීපයක්ද බෑගයක දමාගෙන මගුල් දිනට දින කීපයක් තිබියදී සිය නිවෙස්වලින් අතුරුදන්ව ඇත්තේ උත්සව වලට තමුන්ගේ ඇති අකමැත්ත කොළ කෑල්ලක ලියා තබමිනි.
(වියලුව වාර්තාකරු)
COMMENTS
අන්න බුද්ධිමත් ජෝඩුවක්. (නි)
ඇත්තමයි. අපරාදේ සල්ලි වියදම් කරන්නේ මොන එකකටද? (නි)
බොහොම හොඳ තීරණයක්. ලංකාවේ තියෙන්නේ බොහොම නාස්තිකාර මාෆියාවක්. ලොකු තරඟයක්. (නි)
වැඩේ හොඳයි.. නැත්නම් මනමාලයයි , මනමාලියි දෙන්නම අන්දනවා කට්ටිය එකතුවෙලා.....(බ)
මේ අය බුද්ධිමත් අය වෙන්න ඕනෑ. අනවශ්‍ය වියදම් නොකරන එක ගොඩක් ලොකු දෙයක් (නි)
හඳ පානේ ....හඳ පානේ (රේ)
පැරණි චාරිත්‍ර අනුව පෝරුවේ චාරිත්‍ර මඟින් විවාහය සනිටුහන් කරනවා වගේම පෝරුවේ නඟින කාන්තාව පිරිසිදු චරිතයක් ඇත්තියක් බවත් පැරණි මතයක් තිබෙනවා. එසේ නොවන්නේ නම් වස්වදින බවත් සමහර ගම්බද කාන්තාවත් විශ්වාස කරනවා. අද බොහෝ දෙනා මේවා විශ්වාස නොකළත් සමහරු තවමත් විශ්වාස කරනවා. (නි)
දැන් ගොඩක් විවාහ මංගල සිද්ද වෙන්නේ සැලුන් එකට , පොටෝ ස්ටුඩියෝ එකට හෝටලයට අවශ්‍ය විදියට. (අ)
රටට පේන්න මඟුල් කාලා ඒ ණය ගෙවන්න දහදුක් විඳින සියලු දෙනාටම මේ සිද්ධිය ආදර්ශයක් වේවා (නි)
කාගේ පැත්ත ගන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)