(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ එල්. පී. එල් තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි  විපක්ෂ නායක කාර්යාලයේ අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේද කීවේය.

      "එල්. පී. එල් තරගාවලිය ලබන 26 වන දා ඉදන් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී මෙවැනි තරගාවලියක් පවත්වන පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. තවත් කොරෝනා පොකුරක් ව්‍යාප්තවීමේ අවදානමක් මෙහි තිබෙනවා.

මේ තරගාවලියට සහභාගි වන්නේ අපට ජාතික වටිනාකමක් ලබා දෙන දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන්. මෙහි තරග කිරීමට පැමිණෙන විදේශ ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබෙනවා.

විවිධ රටවල් වලින් අපේ රටට  ක්‍රීඩකයන්, පුහුණු කරුවන්, මාධ්‍යවේදීන්, විස්තර විචාරකයන් ආදී කණ්ඩායම් සහභාගි වෙනවා. මේ අය කොරෝන අරන් අපේ රටට ආවොත් අපේ රට තවත් අවදානමකට පත් වෙනවා.