( තිළිණි ද සිල්වා)
 
එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට  නියමිත මගීන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටලවල නතර කර දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටී.
 
මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණයත් සමගම මෙම පියවර ගැනෙන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
 
නිරෝධායනය අවසන් වීමෙන් පසුව ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කර සිටී.


ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩල ද නිරෝධායන ක්‍රියාවලියට යටත් වන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටී.


දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹ ඇත.


කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව අද සාකච්ඡාවේදීත් ජනාධිපතිතුමා කොවිඩ් කමිටුවේ අවධානයට යොමු කළේය.


සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිණි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා නිලධාරීහූ සහ කොවිඩ් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.