(*** දසුන් රාජපක්ෂ)

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහ්රාන් හෂීම් සූෆි මුස්ලිම්වරුන් බිය ගැන්වීම සඳහා ගිනි අවි භාවිත කළ බවත් 2009 වර්ෂයේ දී කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයන්ට ගිනි අවි පුහුණුව ලබාදුන් බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පෙරේදා (24) ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනාධිපති කොමිසම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේ දී පෙරේදා (24) රැස්විය.

මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් විජය පුවත්පත් සමාගමේ සන්ඩේ ටයිම්ස් ජාතික සති අන්ත ඉංග්‍රීසි පුවත්පතේ මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා මෙසේ ද පැවසීය.

රජයේ නීතිඥවරයා:- ඔබ මුලින්ම සේවය කළේ කොහේද?
සාක්ෂිකරු:- දවස පුවත්පතේ වසර හතර හමාරක් මාධ්‍යවේදියකු ලෙස සේවය කළා. ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය ලබන්න ලන්ඩන් ගියා. ලංකාවට ඇවිත් විජය පුවත්පත් සමාගමේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ සේවය කළා. සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් පුවත්පත් වර්ග 12ක් පමණ විජය පුවත්පත් ආයතනයෙන් මුද්‍රණය කරනවා.

රජයේ නීතිඥවරයා:- ඔබ ලියන්නෙ කුමන කේෂ්ත්‍රවලට අදාළ ලිපි ද?
සාක්ෂිකරු:- මුලින්ම දේශපාලන ලිපි ලීවා. ඉන්පසු යුද්ධය වාර්තා කළා.

රජයේ නීතිඥවරයා:- අන්තවාදය ගැන ලිපි ලිව්වෙ කොහොමද?
සාක්ෂිකරු:- මඩකළපුව, කාත්තන්කුඩිවල දී මුස්ලිම් පල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් වාර්තා කිරීමෙන් අන්තවාදය ගැන දැනගත්තා.

රජයේ නීතිඥවරයා:- අන්තවාදය ගැන මුලින්ම ලිව්ව ලිපිය කුමක් ද?
සාක්ෂිකරු - 2009 වසරේ බේරුවල දී මුස්ලිම් කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් වාර්තා කිරීම හරහා.

රජයේ නීතිඥවරයා:- ඒ සිදුවීම විස්තර කරන්න?
සාක්ෂිකරු:- මුස්ලිම් දහම වෙනස් ආකාරයෙන් ඇදහීම පිළිබඳව ඇති වූ සිදුවීමක්.

රජයේ නීතිඥවරයා:- මුස්ලිම් කල්ලි මොනවාද?
සාක්ෂිකරු:- දුප්පත් හා පෝසත් මුස්ලිම් කණ්ඩායම් දෙකක්. ඒවා සුන්නි මුස්ලිම් කාණ්ඩයට අයිතියි. පෝසත් අයගෙ පල්ලිය බුකාරි ලෙස හඳුන්වනවා. දුප්පත් අයගෙ පල්ලිය මහගොඩ ජුම්මා ලෙස හඳුන්වනවා.

රජයේ නීතිඥවරයා:- මතවාදීමය වෙනස්කම කුමක්ද?
සාක්ෂිකරු:- මහගොඩ ජුම්මා පල්ලියේ අය හරිම කලහකාරියි. බුකාරි පල්ලිය සාම්ප්‍රදායක සාමකාමී පල්ලියක්. මේ පල්ලි දෙකේ මවුලවිලා සමග මා සාකච්ඡා කර තිබෙනවා.

රජයේ නීතිඥවරයා:- කාත්තන්කුඩි සිද්ධියට සම්බන්ධ වුණේ කොහොමද?
සාක්ෂිකරු:- කාත්තන්කුඩියෙ මුස්ලිම් කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් වාර්තා කරන ලෙස ප්‍රධාන කර්තෘවරයා මාව දැනුවත්  කළා. ඒ අනුව කාත්තන්කුඩි ගියා. ඒ අනුව 2009 අගෝස්තු 12 වැනි දින එහෙට ගියා.

රජයේ නීතිඥවරයා:- ඔබ කුමන ප්‍රදේශය ද මුලින්ම නිරීක්ෂණය කළේ?
සාක්ෂිකරු:- කාත්තන්කුඩි ගොස් අපගේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරු සම්බන්ධ කරගෙන ඒ ගැටුමට මුල් වූ සහරාන්ගේ කල්ලිය හා බයිල්වාන්ගේ කල්ලිය ගැන කෙටි සොයා බැලීමක් කළා. බයිල්වාන්ගේ කල්ලිය අවිහිංසාවාදීව කටයුතු කරන බවත් සහරාන්ගේ අය ප්‍රචණ්ඩකාරීව වැඩ කරන බවත් මට දැනගැනීමට ලැබුණා.

රජයේ නීතිඥවරයා:- ඔබ මුලින්ම හමුවුණේ කාවද?
මධ්‍යස්ථ මතධාරියකු වන රවුෆ් මව්ලවිතුමා හමුවුණා. ඔහු බයිල්වාන්ගෙ කල්ලියේ. ඔවුන් සාම්ප්‍රදායක මුස්ලිම් අදහස් දරන අය බව මම දැනගත්තා. සහරාන්ලාගේ කල්ලියේ අය ඔවුන්ට හිංසා කරමින් ගෙවල් ගිනි තැබූ බව මට රවුෆ් මව්ලවි කීවා. ගිනි තැබූ නිවාස මට පෙන්නුවා. සහරාන්ලාට තිබෙන බිය නිසා මයිල්වාන් කල්ලියේ අය රෑට එකතු වී පල්ලියේ නිදාගන්නා බව මට පැවසුවා. මේ සිදුවීම් අලළා 2009 අගෝස්තු 16 දින මා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලිව්වා.

රජයේ නීතිඥවරයා:- ඔබ ඊළඟට හමුවුණේ කවුද?
සාක්ෂිකරු:- මා ඊළඟට හමුවුණේ සහරාන්ව.

රජයේ නීතිඥවරයා:- සහරාන්ගේ හමුව සංවිධානය කළේ කවුද?
සාක්ෂිකරු:- එය සංවිධානය කළේ අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදියා. කලහකාරී වැඩ කරන නැගී එන මුස්ලිම් මව්ලවිවරයෙක් වශයෙන් ඔහු මට සහරාන්ව හඳුන්වා දුන්නා. හමුව පැවැත්වීම සඳහා සහරාන් මට ඔහුගේ කාර්යාලයට පැමිණෙන ලෙස පවසා තිබුණා.

රජයේ නීතිඥවරයා:- එම කාර්යාලයේ දී ඔබ නිරීක්ෂණය කළේ කුමක්ද?
සාක්ෂිකරු:- නිතරම කලහකාරී ලෙස හැසිරෙමින් අනිකුත් මුස්ලිම් ජනයාට හිංසා කරන්නේ ඇයි කියා මා සහරාන්ගෙන් ඇහුවා. ඔහු මගේ චෝදනා ප්‍රතිකේෂ්ප කළා. ඔහුගේ කාර්යාලයේ වෙනත් ස්ථානයක ගිනි අවි තිබෙන බව මා ඒ වගේම සහරාන්ගේ ආරක්ෂාවට ඔහු පිටුපසින් පිරිසකුත් හිටියා.

රජයේ නීතිඥවරයා:- ආයුධ ලැබුණේ කොහොමද? කියල ඔබ සහරාන්ගෙන් ඇහුවද?
සාක්ෂිකරු:- ඒ ගැන මම මගේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාගෙන් ඇහුවා. නැගෙනහිර හිටපු කොටි නායක කරුණා අම්මාන්ගෙන් ආරක්ෂා වීමට ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේ හිස්බුල්ලා විසින් එම ආයුධ ප්‍රදානය කර තිබෙන බව ඔහු කීවා. 1990 අගෝස්තු 3 වැනි දින කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව සමූල ඝාතනය කිරීමෙන් පසු මේ ආයුධ ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් සහරාන්ලාට ලබා දී ඇති බව ද මට දැනගන්න ලැබුණා.

විනිසුරු මණ්ඩලය:- එම සමූල ඝාතනය සිදු වී කොපමණ කාලයකින් ද ආයුධ ලබා දී තිබුණේ?
සාක්ෂිකරු:- එම ප්‍රහාරයෙන් සතියකට පමණ පසු ආයුධ බෙදා දී තිබුණා.

රජයේ නීතිඥවරයා:- සහරාන් මොනවාද ඔබට පැවසුවේ?
සාක්ෂිකරු:- කාත්තන්කුඩි ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු වීමට අවශ්‍ය බව  සහරාන් මට කිව්වා. සාම්ප්‍රදායක මුස්ලිම් වාදයෙන් ඉවත් වී රැඩිකල් මුස්ලිම් ක්‍රම අනුගමනය කිරීමට අවශ්‍ය බව ද ඔහු කීවා. මට වැටහුණ ආකාරය අනුව කාත්තන්කුඩිවල වෙනම බලයක් ගොඩනගාගෙන දෙමළ මිනිසුන් ඉන් පන්නා දමා අනෙක් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහරාන්ලාගේ ක්‍රමයට අනුව හැඩ ගැස්සවීමට ඔහුට අවශ්‍ය වී තිබුණා. අවි බලයෙන් අනෙක් මිනිසුන් තමාට අනුව පාලනය විය යුතු බවයි සහරාන් හිතාගෙන හිටියේ.

රජයේ නීතිඥවරයා:- මොහොමඩ් රිස්වි කියන පුද්ගලයාව පැහැර ගැනීමේ සිද්ධියක් ගැන ඔබට වාර්තා වුණේ නැද්ද?
සාක්ෂිකරු:- මට ඒ ගැන දැනගන්න ලැබුණා. මම ඒ ගැන අහද්දී තමා ඊට සම්බන්ධ නැති බව සහරාන් කිව්වා. සහරාන්ලා සහ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර ගැටුම් ඇති වන්නේ දේශපාලන උවමනාවන් නිසා බව නැගෙනහිර පළාත බාරව එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මට පැවසුවා.

රජයේ නීතිඥවරයා:- අබ්දුල් සමාද් නමැති සහරාන්ගේ අනුගාමිකයකු ඝාතනය කිරීමේ සිදුවීමක් ගැන ඔබට වාර්තා වී තිබේද?
සාක්ෂිකරු:- අබ්දුල් යන පුද්ගලයා අවි භාවිත කරපු පුද්ගලයකු බවත් ඔහු තවුහිද්වාදය දරපු අයෙක් බවත් මා දැනගත්තා.

රජයේ නීතිඥවරයා:- අබ්දුල් සමාද්ව ඝාතනය කළේ කවුරුන්දැයි ඔබට දැනගන්නට ලැබුණා ද?
සාක්ෂිකරු:- එරාවුර්වල සිටින වෙනත් රැඩිකල් මුස්ලිම් අදහස් දරන කණ්ඩායමක් විසින් ඔහුව ඝාතනය කර තිබෙන බව මට දැනගැනීමට ලැබුණා. මේ ඝාතනයෙන් පසු සහරාන්ලා මුස්ලිම් පල්ලියකට පහර දී තිබුණා. ඒ සිදුවීමෙන් පල්ලියේ ගොඩනැගිල්ලට ගොඩක් අලාභ වී ඇති බව මට දකින්න ලැබුණා. ඒ පල්ලිය  සොහොන් පවත්වාගෙන ගොස් තිබෙනවා. පයිල්මාන් නමැති සුෆී මුස්ලිම් නිකායට අයත් පුද්ගලයකුගේ සොහොනින් ඔහුව අරගෙන ඔහුගේ මිනිය කාත්තන්කුඩි නගරයේ දී සහරාන්ලා විසින් එල්ලා තබා තිබුණු බව මා දැනගත්තා.

රජයේ නීතිඥවරයා:- ආලීන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු ඔබ කාත්තන්කුඩියේ දී මුණගැසුනා ද?
සාක්ෂිකරු:- ඔව්. රැඩිකල් මුස්ලිම් මත දරන කොටස් මුහුදු වෙරළට රැගෙන ගොස් ඔහු ඒ අයට ජීව උණ්ඩ මගින් ගිනි අවි පුහුණුව ලබා දෙන බව මා සමග පැවසුවා. තමා අවි පුහුණුකරුවකු බව ඔහු මා සමග පැවසුවා.

රජයේ නීතිඥවරයා:- කාත්තන්කුඩියේ දී සහකාර පොලිස් අධිකාරී කන්දෙවත්ත මහතාව ඔබ මුණගැසුණා ද?
සාක්ෂිකරු:- මුස්ලිම් අන්තවාදී ගැටුම් ගැන මා ඔහුගෙන් ඇහුවා. ඒ ගැටුම් විසඳිය නොහැකි බව ඔහු මට කිව්වා. එම ගැටුම් ගැන පරීක්ෂණ නොකරන ලෙස ඔහුට ඉහළින් අණ ලැබී තිබෙන බව පැවසුවා. මුස්ලිම් කල්ලිවලට සල්ලි ලැබෙන විදිහ ගැන ද අප දෙදෙනා කතා කළා.

රජයේ නීතිඥවරයා:-  මුස්ලිම් තරුණයන් විදේශ රටවලට යැවීමට කාගෙන් හෝ උදව් ලැබෙන බව ඔහු ඔබ සමග පැවසුවා ද?
සාක්ෂිකරු:- සවුදි අරාබිය අනුග්‍රහය දක්වා මුස්ලිම් තරුණයන් ආගම ඉගෙන ගැනීමට ඒ රටට ගෙන්වා ගන්නා බව මට දැනගැනීමට ලැබුණා.

රජයේ නීතිඥවරයා:- 2009 වසරේ දී කාත්තන්කුඩිවල අරාබි භාෂාව ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම් හෝ පුවරු තිබුණා ද?
සාක්ෂිකරු:- නාම පුවරුවලට අරාබි භාෂාව යොදාගෙන තිබුණා. අපි ඒවායේ ඡායාරූප ගත්තා.

රජයේ නීතිඥවරයා:- ඒ වනවිට මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් ශරීරය වැහෙන ලෙස ඇඳුම් ඇඳගෙන සිටියා ද?
සාක්ෂිකරු:- පාසල් යන තරුණ දැරියන් අනිවාර්යෙන්ම ඇස්දෙක පමණක් පෙනෙන අයුරින් මුළු ශරීරයම වසා ගෙන සිටිය යුතු බවට නීතියක් රැඩිකල් මුස්ලිම් කල්ලි කාත්තන්කුඩිහි පනවා තිබුණා. බහුතරයක් කාන්තාවන් එලෙස ඇඳුම් ඇඳගෙන සිටින බව මා එහිදී දැක්කා.

විනිසුරු මණ්ඩලය:- සහරාන් මවුලවිවරයකු වී සිටි නිසා ඔහු අයත් වී තිබුණු නිකාය ගැන ඔබ දැන ගත්තා ද?
සාක්ෂිකරු:- තවුහිද් ජමාද් කල්ලියට සහරාන් අයත් බව මා අනාවරණය කරගත්තා.

විනිසුරු මණ්ඩලය:- සහරාන් හෂීම්ට ඒ වන විට අනුගාමිකයන් කොපමණ පිරිසක් සිටියා ද?
සාක්ෂිකරු:- පනහකට ආසන්න පිරිසක් ඔහුගේ අනුගාමිකයන් වී සිටියා.

විනිසුරු මණ්ඩලය:- සහරාන්ගේ කාර්යාලයේ ගිනි අවි තිබූ බව ඔබ කිව්වා. ඒවාගේ වර්ගය කුමක්දැයි ඔබ අඳුන ගත්ත ද?
සාක්ෂිකරු: ඔව්. ඒවා ටී 56 ගිනි අවි බව මා දැක්කා.

විනිසුරු මණ්ඩලය:- සහරන් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ගැන ඔබ සමග පැවසුවා ද?
සාක්ෂිකරු:- සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් යන මාර්ගය වැරදි බව ඔහු පැවසුවා. මුස්ලිම්වරුන් අලුත් මාර්ගයක යා යුතු බව ඔහු කිව්වා. සවුදි අරාබියේ මෙන් සංස්කෘතියක් කාත්තන්කුඩිවල ඔහුට හැදීමට අවශ්‍ය වී තිබුණා.

විනිසුරු මණ්ඩලය:- මොහොමඩ් රිස්වි යන පුද්ගලයකු ගැන ඔබට දැනගැනීමට ලැබුණා ද?
සාක්ෂිකරු:- ඔව්. ඔහු සහරාන්ට විරුද්ධ මත දරපු පුද්ගලයෙක්. වරක් ඔහුට සහරාන්ලා පහර දී තිබුණා.

විනිසුරු මණ්ඩලය:- අබ්දුල් සමාද් සහ සහරාන් අතර තිබුණේ කුමන ආකාරයේ සම්බන්ධයක් ද?
සාක්ෂිකරු:- සහරාන්ලාගේ කණ්ඩායමේ ආයුධ බාරව සිටියේ අබ්දුල් නමැත්තා. ඊට අමතරව ඔහු සහරාන්ලට අවශ්‍ය ආයුධ මිලදී ගැනීමේ කටයුතුවල ද නිරත වී සිට තිබෙනවා.

විනිසුරු මණ්ඩලය:- මුහුදු වෙරළේ තිබූ පොල්ගස් ඔබ නිරීක්ෂණය කළා ද?
සාක්ෂිකරු:- සහරාන්ලා අවි පුහුණුවීමට පොල්ගස්වලට වෙඩි තැබීම නිසා ඒවායේ කරටි කඩාවැටී තිබුණු අයුරු මා දැනගත්තා.

විනිසුරු මණ්ඩලය:- සහරාන් හෂීම්ට ආධාර අනුබල දෙන අය ගැන ඔබ අනාවරණය කරගත්තා ද?
සාක්ෂිකරු:- ඒ.එල්.එම්. හිස්බුල්ලා බව මා දැනගත්තා.

විනිසුරු මණ්ඩලය:- වසර එකොළහකට පෙර 2009 වසරේ දී ඔබ සහරාන්ලාගේ ආයුධ සහ අන්තවාදී ක්‍රියා ගැන ලියා තිබෙනවා. ඒ කාලයේ ඔවුන්ගේ මතවාදය පැතිරවීමට ආයුධ යොදාගත් බව ඔබට වැටහුණා ද?
සාක්ෂිකරු:- සහරාන් උත්සහ කළේ අවි බලයෙන් මුස්ලිම් අනුගාමිකයන් තමන්ගේ මතයට අනුගත කරගැනීමට බව මා දැනගත්තා.

විනිසුරු මණ්ඩලය:- 2009 දී සහරාන්ලට ඉතා කුඩා අනුගාමිකයන් පිරිසක් සිටි බව සඳහන් වුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන විට අනුගාමිකයන් වැඩි වී තිබුණු බව ඔබ නිරීක්ෂණය කර තිබේද?
සාක්ෂිකරු:- 2019 වසර වන විට සියයට දෙසීයක ප්‍රමාණයකින් අනුගාමිකයන් වැඩි වී තිබුණු බව මා දැනගත්තා.

විනිසුරු මණ්ඩලය:- 2009 වසරට පසු ඔබ කාත්තන්කුඩි ගොස් තිබෙනවාද?
සාක්ෂිකරු:- ඔව්, එම ප්‍රදේශය බොහෝසෙයින් වෙනස් වී තිබෙන අයුරු මා දැක්කා. මා ඒ නගරය දැක්කේ අරාබියේ මොඩලයක් විදිහටයි. එහි ජීවත් වන මුස්ලිම් මිනිසුන් ඒ ක්‍රමයට කැමති බව මට නිරීක්ෂණය වුණා.

විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් කොටස්වලට ගිනි අවි පෙන්වා බිය ගන්වා තමන්ගේ මතවාදයට නතුකර ගැනීමට සහරාන් කටයුතු කළේ ඇයිදැයි ඔබ දන්නවාද?
සාක්ෂිකරු:- ලංකාව පුරා සහරාන්ලගෙ මතවාදය පැතිරවීමට අරමුණක් සහරාන්ට තිබුණා. ලංකාවේ පාලකයන් ඒ බව නොදැක්කා වගේ හිටපු එක ගැන මට කනගාටුයි. මේ වන විට සහරාන්ලගේ මතය සියයට දෙසීයකින් පමණ පැතිරී තිබෙනවා. වගකිව යුතු අය ඒ ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගත්ත එක ගැන මා කනගාටු වෙනවා.

විනිසුරු මණ්ඩලය:- පූනානිවල විශ්වවිද්‍යාලයක් හදන බව ඔබ දැක තිබේද?
සාක්ෂිකරු:- මුස්ලිම් අන්තවාදය දැන් පූනානි නෙවෙයි වැලිකන්ද දක්වා පැතිර තිබෙනවා. ලංකාව පුරා මුස්ලිම් ජනවාසකරණය කිරීමක් සිදුවෙනවා.

විනිසුරු මණ්ඩලය:- කාත්තන්කුඩිවල සිටින පුද්ගලයන් මොනවගේ අය ද?
සාක්ෂිකරු:- එහෙ ඉන්නෙ හුඟක් සල්ලි තිබෙන අය. ඕනෑම භාණ්ඩයක් ඊට සමානව හදන ෆැක්ටරි එහි තිබෙනවා.

විනිසුරු මණ්ඩලය:- ඔබ ලියූ ලිපිය ගැන ආරක්ෂක අංශ ඔබගෙන් විමසීමක් කර තිබෙනවා.
සාක්ෂිකරු:- මේ වන තෙක් කිසිදු ආරක්ෂක අංශයක් මගෙන් ඒ ගැන කිසිදු විමසීමක් කර නැහැ.

විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් අන්තවාදයට අතහිත දෙන දේශපාලනඥයන් කවුද?
සාක්ෂිකරු:- ඒ.එල්.එම්. හිස්බුල්ලා ඔවුන්ට සහය දෙන බලවත් දේශපාලනඥයෙක්. ඔහු වැනි තවත් අය සිටිනවා

විනිසුරු මණ්ඩලය:- ලංකාව තුළ අන්තවාදී මුස්ලිම්වාදය ආරම්භ වුණේ  කවදාද කියා ඔබට වැටහීමක් තිබේද?
සාක්ෂිකරු:- ලංකාව තුළ මද්‍රසා පාසල් පටන්ගත් දින සිට මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වුණා. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු මුස්ලිම් අන්තවාදීන්ගේ කටයුතු වැඩි වුණා. මුස්ලිම් තරුණයන් අරාබියට ගොස් ඉගෙනගෙන ඇවිත් ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය පතුරවනවා. මේවා පතුරුවන සංවිධානවල නම් මට හරියට මතක නැහැ.

විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ ලැබුණේ ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හරහා ද?
සාක්ෂිකරු:- එවකට සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අනුග්‍රහය සහිතව හිස්බුල්ලාගේ මාර්ගයෙන් සහරාන්ලට ආයුධ ලබා දුන්නා.

විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ දුන්නේ හිස්බුල්ලා හරහා පමණ ද?
සාක්ෂිකරු:- හිස්බුල්ලා තමා ප්‍රධාන වශයෙන් සිටියේ. ඔහුගේ පුතාත් ඒ වැඩවලට උදව් කර තිබෙනවා.

විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් ජනතාව යොදාගෙන අසීමිත ලෙස ජනපදකරණය කළ බව ඔබ කීවා. එය ඔබගේ නිරීක්ෂණයක් ද?
සාක්ෂිකරු:- ඔව්. මතවාදීවත් ඒ දේ කරනවා. මේ කටයුතුවලට මැදපෙරදිග රටවල්වලින් ආධාර ලැබෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රබල සල්ලි තියෙන මුස්ලිම් අයත් මේ ජනපදකරණයට උදව් කරනවා.