ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීමත් සමඟ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් දැඩි කනස්සල්ල පළ කර තිබේ.

එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, මෙවැනි ප්‍රහාරයකින් සිදුවන න්‍යෂ්ටික අනතුරක් හරහා ඉදිරි පරම්පරා ගණනාවකට බලපාන විනාශකාරී සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවය.

දිනෙන් දින උත්සන්න වන මෙම ගැටුම්කාරී වාතාවරණය හමුවේ පවතින තර්ජනය සහ අවදානම තවදුරටත් ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනය වාර්තා කරන පරිදි, බලාගාරය ආසන්නයට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් පතිත වූ සුන්බුන් හේතුවෙන් එහි සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයකු මියගොස් ඇත.

ඉරානයේ දැනට ක්‍රියාත්මක වන එකම න්‍යෂ්ටික බලාගාරය මෙය වන අතර, එය පුද්ගලයින් 250,000ක් පමණ වෙසෙන බුෂෙහ්ර් නගරයේ පිහිටා ඇත. මෙම ප්‍රදේශය ඉරානයේ ඉතා වැදගත් කාර්මික සහ  යුදමය කලාපයක් ලෙස ද සැලකෙයි.