රටේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ දිනවල විවිධ මත ප්‍රකාශ වෙයි. මේ හැම මතයක්ම කේන්ද්‍රගත වී තිබෙන්නේ අර්බුදය හැකි ඉක්මනින් විසඳාගැනීමේ වුවමනාව කෙරෙහි වුවද එය දිගින් දිගටම ඇදෙමින් පවතින මහ ගැටලු‍වක් බවට පෙරළී තිබේ. මේ පසුබිමේ පසුගිය 04 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අර්බුදයට දවස් හතකින් විසඳුමක් ලබාදෙන බවට කරන ලද ප්‍රකාශය කෙරෙහි රටේම අවධානය යොමුවී තිබේ. අර්බුදයෙන් දැඩි ලෙස හෙම්බත්ව සිටින රටේ ජනතාව තුළ ඉක්මන් විසඳුමක් ලැබෙනු ඇති බවට ඇත්තේ විශාල බලාපොරොත්තුවකි. බලාපොරොත්තුවකටත් වඩා දැඩි වුවමනාවකි. ජනපතිවරයාගේ එම ප්‍රකාශය එකී බලාපොරොත්තුව දිරිගන්වන සුළුය. 


රටේ අර්බුදය පිළිබඳව කතා නොකෙරෙන මංගල උළෙලක්, අවමඟු‍ල් උළෙලක්, වෙනත් රැස්වීමක් හෝ උත්සවයක් පමණක් නොව කොටහළු මඟු‍ලක් හෝ මේ දිනවල මේ රටෙන් සොයාගැනීම අසීරුය. එවැනි ස්ථානයකට දේශපාලනඥයකු පැමිණියහොත් කතාබහ තවදුරටත් බරපතළ වෙයි. කාර්යාල තුළ, පොදු ගමනාගමන සේවා තුළද දේශපාලන අර්බුදය හොඳ ‘‘කටගැස්මක්’’ බවට පත්ව තිබේ. වෙනෙකක් තබා ඕනෑම තැනකදී මිතුරන් මුණගැසුණු විටකදී වුවද මේ දිනවල අසන පළමු ප්‍රශ්නය “දැන් මොකද වෙන්නේ.?” යන්නය. මේ හැම කතාවකම අරමුණ අර්බුදය ඉක්මනින් විසඳා රට වළපල්ලටම යාමෙන් බේරාගැනීමේ වුවමනාවය. 


මේ අනුව අපට ජනාධිපතිවරයාගේ කතාවෙන් අවබෝධ කරගත හැකි වන්නේ හැකි ඉක්මනින් අර්බුදයට විසඳුමක් ලබාදීමට ඔහු තුළද දැඩි බලාපොරොත්තුවක් තිබෙන බවය. මෙහිදී සැලකිල්ලට ගත යුතු වන්නේ ජනාධිපතිවරයා එක දේශපාලන පක්ෂයක ජනාධිපති නොව රටේ සියලු‍ම ජනතාවගේ ජනාධිපති බවය. අර්බුදයට විසඳුම වන්නේ එක දේශපාලන පක්ෂයක් සතුටු කිරීම නොව රටට වඩාත්ම අවශ්‍ය කරන බහුතර ජනතාවට පිළිගත හැකි නීතියට පටහැණි නොවන විසඳුමක් ලබාදීමය. ඒ සඳහා ජනාධිපතිවරයා කිසියම් නම්‍යශීලී බවක් පෙන්නුම් කරන්නේ නම් ඊට අර්බුදයේ සියලු‍ පාර්ශ්වකරුවන්ගේ සහාය ලබාදීම අවශ්‍යය. ඒ හරහා විසඳුමකට පොටක් පාදාගැනීමට හැකිවනු ඇතැයි අපි සිතමු. 


ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන විට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ නීත්‍යනුකූල ආණ්ඩුවක් ස්ථාපිත කිරීමෙන් පසුව පවත්වන ඕනෑම මැතිවරණයකට තමන්ගේ පෙරමුණ සූදානම් බවය. එවැනි තත්ත්වයකදී පාර්ලිමේන්තුවේ සියලු‍ම පක්ෂ මැතිවරණයක් පැවැත්වීමට එකඟත්වය දෙනු ඇතැයිද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි. එවැනි එකඟත්වයක් සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සියලු‍ පක්ෂ සමඟ සාකච්ඡා කර ඇතිදැයි අප නොදන්නා නමුත් ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාද හිටපු අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාද දක්වන අදහස් කෙරෙහි සියලු‍ පාර්ශ්වකරුවන් අවධානය යොමුකිරීම මෙහිදී වැදගත් වනු ඇත. 

රටේ අර්බුදයෙන් ප්‍රධාන වශයෙන් බැට කන්නේ පොදු මහජනතාවය. ඔවුන්ගේ සුබසිද්ධිය රටේ පාලක පන්තියේ ප්‍රධාන අරමුණ වන්නේ නම් වඩාත්ම අවශ්‍ය වන්නේ පොදු එකඟත්වයකින් යුතුව අර්බුදයට විසඳුමක් සොයාගැනීමය. ඒ වෙනුවෙන් අදහස් සහ මත පළකිරීම වැදගත් වෙනවා සේම අප්‍රමාදව පියවර ගැනීමටද ප්‍රමුඛත්වය ලබාදීම අවශ්‍යය. පලක් නොමැති සාකච්ඡා සහ කතා පැවැත්වීම කාලය කා දැමීමකි. එය අවස්ථාවේ හැටියට බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමටද ඉඩ තිබේ. බුද්ධිමය, හරවත් සංවාද ඇතිකිරීම මගින් රටේ වෙසෙන විද්වතුන්ටද මේ සඳහා හවුල් විය හැකිය. පටු දේශපාලන පරමාර්ථවලින් බැහැරව රටත් ජනතාවත් මේ වැටී සිටින අගාධයෙන් ගොඩගැනීම එවැනි සංවාදවල අරමුණ විය යුතුය. එම කාර්යය ඉටුකිරීම ප්‍රමාද වෙන තරමට රටේ පවතින තත්ත්වය තවදුරටත් අඳුරු වනු ඇත. 

මෙහිදී අධිකරණය මගින් විසඳා දිය යුතු කාරණා සම්බන්ධයෙන් රටේ සියලු‍ දේශපාලන පක්ෂවලත් පොදු මහජනතාවගේත් අවධානය යොමුවී තිබෙන බව සැබෑය. ​ෙශ්‍ර්ෂ්ඨාධිකරණ​ෙයන් ලබාදෙන තීන්දුවට අනුව කටයුතු කිරීමට සියලු‍ දෙනා බැඳී සිටිති. අධිකරණයට ගරු නොකරන රටක නීතියක් පැවැතීමට ඉඩක් නැත. එවැනි රටවල් කිහිපයක් මේ ලෝකයේ පවතින බවත් ඒ තත්ත්වයට අපේ රට පත්වනු දැකීමට කිසිවකුත් නොකැමැති බවත් සියලු‍ දෙනා දැන සිටීම අවශ්‍යය. කෙසේ වුවද විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර හටගත් අර්බුදය අධිකරණයට නොගොස් විසඳා ගැනීමට තිබූ අවස්ථා මඟහැරී යාම සම්බන්ධයෙන් නම් රටේ ජනතාව තුළ කිසියම් කනගාටුවක් තිබෙන බවද පෙන්වා දිය යුතුය. එවැනි එකඟත්වයකට එළඹීමට දෙපාර්ශ්වයටම හැකිවී නම් රට මෙතරම් අවුල් නොවීමට ඉඩ තිබූ බව ඔවුන්ගේ පොදු පිළිගැනීමය. 

රටේ නායකයන් දේශපාලන කඹ ඇදිල්ලක යෙදී සිටියදී රටේ ආර්ථිකයේ තත්ත්වය බරපතළ ලෙස පිරිහෙමින් තිබේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘‘ෆිච් රේටින්ස්’’ ආයතනයද ශ්‍රී ලංකාව තත්ත්වයෙන් පහළ දමා තිබේ. සති දෙකක කාලයක් තුළදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළ දැමූ දෙවැනි අවස්ථාව මෙය විය. මේ පහත හෙළීම් රටට කිසිසේත් හිතකර නොවන බවත් දේශපාලන අර්බුදය වහාම විසඳාගත යුතු බවට බලකෙරෙන ප්‍රබල සංඥාවක් එමගින් නිකුත් කර ඇතිබවත් යථාර්ථයයි.