සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ

ජාතික නිදහස් දිනය ජාතික දිනය වූයේ ඇයි? ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නැතිද? ආණ්ඩුවේ පිරිස්වලින් එල්ලවන විවේචන අලුත් ව්‍යවස්ථා යෝජනා කාගේ වුවමනාවක්ද? කඩිමුඩියේ මෙවන් යෝජනා කුමටද? මීළඟ ජනපති අපේක්ෂකයා කවුද යනාදී කරුණු සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු සහ ආපද‌ා කළමනාකරණ ඇමැති  රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු.

 

ප්‍රශ්නය:- නිදහස ඉවත්කර නිදහස් සමරන්නද ආණ්ඩුවේ සූදානම?

පිළිතුර:- අපි නිදහස ඉවත්කර නැහැ. නිදහස සැමරීම අපි දිගටම කරගෙන ආවා. නිදහසේ පියා එ.ජා.ප යේ නායකයකු වූ බව සැවොම දන්නවා. නිදහස සැමරීම අපි කරනවා.

ප්‍රශ්නය:- නිදහස නැතිව ‘ජාතික දිනය’ සමරන්නේ ඇයි?

පිළිතුර:- නිහදස් දිනය කිව්වත් ජාතික දිනය කිව්වත් ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැනේ. ජාතියට නිදහස ලැබුණ දිනය තමයි පෙබරවාරි 4 වැනිදා. නිදහස ලබාගන්න සටන් කළේ එ.ජා.ප නායකයෝ ජාතියේ පියා එ.ජා.ප.යේ. ජාතික කිව්වත් නිදහස කිව්වත් වචන හුවමාරුවක් නැහැ. මේ කරන්නේ ලබාගත් නිදහස සැමරීමයි.

ප්‍රශ්නය:- වසර හැත්තෑවක් ‘ජාතික නිදහස් දිනය’ සැමරුවත් මෙවර එය වෙනස් වුණේ ඇයි?

පිළිතුර:- වසර හැත්තෑවක් නිදහස් දිනය සැමරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන්, නිදහස් දිනයම අපි ජාතික වශයෙන් සමරනවා.

ප්‍රශ්නය:-  රටේ ජනතාව කප්පරක් ප්‍රශ්නවලට මුහුණදී සිටියදී නිදහසක් සමරන්න පුළුවන්ද?

පිළිතුර:- කිසිම ප්‍රශ්නයක් නැහැනේ. අපේ ආණ්ඩුව තරම් ජනතාවට වැඩ කරපු ආණ්ඩුවක් නැහැ. වැඩියෙන්ම ප්‍රශ්න ආවෙත් අපේ ආණ්ඩුවට, රජයේ සේවකයාට මෙහෙම සලකපු ආණ්ඩුවක් වෙන කවදාවත් තිබුණේ නැහැ. ගොවියා​ෙග් නිෂ්පාදනවල මිල නැගලා. අත්‍යවශ්‍ය බඩුමිල පසුගිය වසර හතරෙදි පාලනය කරගෙන සිටියා. විදුලි බිල අඩු කළා. බස් ගාස්තු අඩු කළා. ජලබිල වැඩි කළේ නැහැ. සමෘද්ධිය තුන්ගුණයකින් වැඩි කළා. වැඩිහිටි ආධාර ආදී සියලු ආධාර වැඩි කළා. ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දෙනවා. මේ වගේ සහන දුන්න ආණ්ඩුවක් නැහැ. පසුගිය වසර විස්සටම ඉදිකළේ මාර්ග, අධිවේගී මාර්ග කිලෝමීටර් 130ක් පමණයි. අපි දැන් කිලෝ මීටර් 180ක වැඩ කරගෙන යනවා. වරාය නගරය, මොරගහකන්ද වගේ දැවැන්ත ව්‍යාපෘති පේන්නේ නැතිද? අධ්‍යාපනයට සෞඛ්‍යයට විශාල මුදලක් වැය කරනවා. බෙහෙත් වර්ග පනහක පමණ මිල බාගෙට බාගයක් අඩු කළා. මෙහෙම වැඩ කරපු ආණ්ඩුවක් වෙන කොහේද තිබෙන්නේ.

ප්‍රශ්නය:- ගොවියාත් රාජ්‍ය සේවකයාත්, සාමාන්‍ය ජනයාත් අද අර්බුදයකට පත්වෙලා. ගොවි නිෂ්පාදන විකුණගන්න බැරිව මාර්ගවල සිටිනවා. ජීවන බරෙන් සියලු දෙනා මිරිකෙනවා නේද?

පිළිතුර:- ගොවියාගේ නිෂ්පාදන විකුණා ගැනීම අද ප්‍රශ්නයක් නෙමෙයි. එදත් ඔය ප්‍රශ්නය තිබුණා. හැමද‌ාම ඒ ප්‍රශ්නය තිබුණා. කාලයකට නිෂ්පාදනය වැඩි වුණාම අලෙවියේ ප්‍රශ්නයක් එනවා. ගෙවුණු වසර 24ක් ම කෘෂිකර්ම ඇමැතිවරු සිටියේ ශ්‍රී.ල.නි.පයෙන් හෝ එම පක්ෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවකින්. සියල්ල නවීකරණය වුණා. කෘෂිකර්මය විතරක් නවීකරණය වුණේ නැහැ. ගොවියා ශක්තිමත් වෙන්න නවීකරණය අත්‍යවශ්‍යයි. ගොවියාට අපි ශක්තියක් දී තිබෙනවා. මේ දිනවල සේනා දළඹුවා ඇවිත් මෙයින් ​ෙගාවියාට සෑහෙන බලපෑමක් වෙලා. ඒ නිසා ගොවීන්ට වන්දි ගෙවන්න ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. මේ ආණ්ඩුවට කොයිතරම් ප්‍රශ්න ආවද? අපි එ්වායෙන් පැන ගියේ නැහැ. මේ සියල්ල අපි කරන්නේ මහා ණය බරක් සමගයි.

ප්‍රශ්නය:- එදත් ප්‍රශ්න තිබුණා ඒ නිසා අදත් ඒවා තිබෙනවා කීම හරිද? අවශ්‍ය වෙන්නේ විසඳුම් නේද? කෘෂිකර්මය නවීකරණය විය යුතු නම් ගෙවුණු වසර හතරේ ගත් පියවර කුමක්ද?

පිළිතුර:- එ.ජා.ප යට පමණක් තනියම මේක බාර ගන්න බැහැ. අපි සිටියේ හවුල් ආණ්ඩුවක. මේ රටේ කෘෂිකර්මයට වැඩියෙන්ම වැඩ කළේ එ.ජා.ප යයි. වැව් අමුණු ඉදිකර ගොවි ජනපද බිහිකර ජනතාවට ශක්තියක් දෙන්න කටයුතු කළේ එ.ජා.ප යයි. අවශ්‍ය නවීකරණය අපි කළ යුතුමයි. මම සිතන්නේ ඒක කල්ගියා වැඩියි. 

ප්‍රශ්නය:- ඕවා කරන්න කාලයක් තිබේද?

පිළිතුර:- අනිවාර්යයෙන් මැතිවරණයට ලෑස්ති වෙන්න වෙනවා. ශක්තිමත් තනි ආණ්ඩුවක් මේ රටේ තියෙන්න ඕන. හවුල් ආණ්ඩු මේ රටේ හරියන්නේ නැහැ. කොටසක් කකුලෙන් අදිනවා. තව කොටසක් වෙන දේවල් කරනවා. තවත් අය ආණ්ඩුවේ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය කරනවා. එහෙම නැතුව ආණ්ඩුවේ කාර්යභාරය කරන ආණ්ඩුවක් අවශ්‍යයි. පසුගිය කාලයේ සිටි බොහෝ ඇමැතිවරු ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට බැන්නා. ඒ අය කළේ විපක්ෂයේ කාර්යභාරයයි. එවැනි තත්ත්වයකට අපි මුහුණ දුන්නා. ස්ථාවර ආණ්ඩුවක් මේ රටට අවශ්‍යයි. ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් එවිටයි.

ප්‍රශ්නය:- පසුගිය ආණ්ඩුව ණය ලබාගෙන ඇහැට පෙනෙන ඇඟට දැනෙන සංවර්ධනයක් කළා. මේ ආණ්ඩුවේ එවන් සංවර්ධන වැඩ කෝ?

පිළිතුර:- රටකට ඕන නිෂ්පාදන සංවර්ධනයක්, ණය ගෙන වරායක් හැදුවට ඒ ණය ගෙවන්නවත් ආද‌ායම ඒ වරායෙන් ලැබුණේ නැහැ. ගුවන් තොටුපොළත් එහෙමයි. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා හැදුවා. ඒවායෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. ණය අරගෙන කරන්න ඕන ප්‍රතිලාභයක් ලැබෙන වැඩයි. එ.ජා.පය මහවැලිය හැදුවාම, විදුලි බලාගාර ඉදිකළාම ජනතාවට ප්‍රතිලාභ ලැබුණා. නිදහස් වෙළෙඳ කළාපවල ප්‍රතිලාභ මුළු සමාජයටම ගලාගියා. එහෙත් ගිය ආණ්ඩුව කළේ නම් ගහගන්න සංවර්ධනයක්. ඒ පාලන කාලයේ මේ රටේ කෘෂි නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදන අඩු වුණා. රටක් දියුණු වෙන්න නිෂ්පාදනය ඉලක්ක කරගත් සංවර්ධනයක් තියෙන්න ඕන.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ සිටි පිරිස් ආණ්ඩුව විවේචනය කරමින් කකුලෙන් ඇද්ද නිසා පසුගිය කාලයේ වැඩ කරන්න බැරි වුණා කියා ඔබ මුලින් කිව්වා. දැන් තිබෙන එ.ජා.ප තනි ආණ්ඩුවේ අයත් ආණ්ඩුව විවේචනය කරන්නේ ඇයි?

පිළිතුර:- කවුරුහරි එහෙම කරනව නම් විනය ක්‍රියාමාර්ග ගන්න ඕන. ආණ්ඩුවක් විනයක් ඉලක්කයක් ඇතිව වැඩ කරන්න ඕන. සමහරුන්ට අවශ්‍ය ඇමැතිකම් නොදුන් නිසා භේදයක් ඇති කරන්නත් සමහර තැන් වැඩ කරනවා. ඒක අපි පිළිගන්න ඕන. මේවා ගැන වැඩිය කතා කරන්න මම කැමැති නැහැ. කවුරුත් එක්ක සහයෝගයෙන් මේ ආණ්ඩුව ගෙන යන්න අවශ්‍යයි. එහෙත් ඒකත් අද ප්‍රශ්නයක් වෙලා. කැබිනට් ඇමැති පදවියක් හෙබව වූ අයකුට ඒක නැති වුණාම ප්‍රශ්නයක් අද ඒ වගේ තත්ත්වයකට පත්වෙලා.

ප්‍රශ්නය:- විවේචකයන්ට විනය පියවර ගන්න ඕන කිව්වට එහෙම ගන්න බවක් පේන්න නැහැ නේද?

පිළිතුර:- වැඩි බලයක් තිබෙන ආණ්ඩුවක් ඕන කියන්නේ ඒ නිසයි. නූලෙන් තිබෙන ආණ්ඩුවක කටයුතු කරන්න ඕන කොහොමද කියා කල්පනා කරන්න ඕන නේ. ස්ථාවර ආණ්ඩුවක් ආවාම මේ සියල්ල කරන්න පුළුවන්. අපේ අය ඇතුලේ ඉඳන්  විවේචනය කළාට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. එහෙත් මුලින් සිටි අය ලොකු හානියක් කළා. ඒ අය එළියට ගිහිල්ලත් ඒ හානිය කරමින් සිටිනවා.

ප්‍රශ්නය:- මොන ශක්තිමත් ආණ්ඩුව හැදුවත් 19 වැනි සංශෝධනය අනුව ඇමැති පොරය එන්නේ නැතිද?

පිළිතුර:- ඔව් 19 වැනි සංශෝධනය අනුව ඇමැති මණ්ඩලය තිහකට සීමා කරන්න වෙනවා. මහින්ද මහත්තය ආණ්ඩුව කළේ ඇමැති ධුර හැට ගණනක් එක්ක. පක්ෂ දෙකක් තුනක් එකතු කරගෙන මේක කර ගන්න අපට පුළුවන් වේවි. දැනටමත් මේ ආණ්ඩුව තිබෙන්නේ එ.ජා.පයත් මුස්ලිම් කොංග්‍රසයත් එකතුවෙන්. එළියට ගියේ ශ්‍රී.ල.නි.ප පමණයි. තීරණ ගන්න තැන් මේවා කල්පනා කරන්න ඕන.

ප්‍රශ්නය:- එ.ජා.ප පසුපෙළ කැරැල්ලකට අරඅදිමින් සිටින්නේ ඔවුන්ට පක්ෂය සලකන්නේ නැති නිසා නේද?

පිළිතුර:- ඔය සියල්ලටම මුල් වුණේ පසුගිය කාලයේ තිබූ හවුල් ආණ්ඩුවයි. මන්ත්‍රීවරුන්ටත් ප්‍රශ්න තිබෙනවා. ඔවුන් වැඩ කරන්න ඕන. ඕක සාමාන්‍ය ස්වභාවයක්. මම පාර්ලිමේන්තු ආවේ අසූ නවයෙදි. අපි එද‌ා පසුපස ඉඳන් කැරැලි ගැසුවා. ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් කැරැලි ගැසුවා. ඕක සාමාන්‍ය ක්‍රමයක්. ඔය වයසට ඔහොම තමා. එහෙම කැරැලි නොගහත් බැහැ. ආණ්ඩුවකට වැරැදි පෙන්නා දෙන්න ඕන. මෙහෙම කැරැලි ගැසුවාට අපෙන් කවුරුවත් ගිහින් නැහැ. පසුගිය කාලයේ සිදු වූ නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී විසුරුවා හැරීමේදී අපේ මන්ත්‍රීවරු අපට සහයෝගය දුන්නා. ඒ නිසා මොනව හෝ කිව්වට ගනන් ගන්න හොඳ නැහැ. අපි වැඩේ කරගෙන යනවා.

ප්‍රශ්නය - පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවට මේ අය අතරින් අදහස් එනවා. ඔබත් මීට ටික කලකට පෙර එවන් ස්ථාවරයක සිටියා නේද?

පිළිතුර:- නෑ අපි එක එක කාලෙට එක එක දේවල් කියනවා. මේ පක්ෂයේ විතරක් නෙමෙයි. මැතිනියගේ නායකත්වය වෙනස් කරන්න එයාගෙ පුතාම කැරැලි ගැසුවා. මහින්දගේ නායකත්වයට එරෙහිව කණ්ඩායමක් අපට ආවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට කණ්ඩායමක් ඉන්නවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එ.ජා.ප යෙත් ඒ වගේ ප්‍රශ්න එනවා. ඒත් අපි ඒවා එළියට අරගෙන නැහැ. පක්ෂය ඇතුළේ බේර ගන්නවා.

ප්‍රශ්නය:- ජනතාව මුහුණදෙන ප්‍රශ්න තිබියදී ආණ්ඩුව ව්‍යවස්ථාවක් අල්ලාගෙන කරන්නේ මොකද්ද?

පිළිතුර:- නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, ජනසම්මතයට පටහැනිව අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලයක් පත්කළා. ඒ වගේම නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒක මෙරට ඉතිහාසයේ දුටු අශෝබනම ක්‍රියාවක්. ඒක වැරැදි බව අධිකරණයත් පාර්ලිමේන්තුවත් තීරණය කළා. දැන් අපි ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා. ඒ මත යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. ජනාධිපතිතුමා එක පක්ෂයක නායකයෙක්. අගමැතිතුමා තව පක්ෂයක මෙහෙම යද්දී ප්‍රශ්නයක් තිබෙනවා. මේක තමයි අස්ථාවරභාවය.

ප්‍රශ්නය:- මම ප්‍රශ්න කළේ නව ව්‍යවස්ථාව ගැනයි?

පිළිතුර:- විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පසුගිය මැතිවරණවලදී අපි පොරොන්දු වුණා. ව්‍යවස්ථාව ගැන හැමෝම කතා කළා. තර්ටීන් ප්ලස් ගැන මහින්ද මහත්තය කිව්වා. ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධන අවශ්‍ය බව කවුරුත් පිළිගන්න ඕන. මේක අලුත් දෙයක් නෙමෙයි. ව්‍යවස්ථා සංශෝධනය ගැන යෝජනාවලියක් ඇවිත් තිබෙනවා. මේ පිළිබඳව කාටත් කතා කරන්න පුළුවන්. මෙහි අඩංගු කරුණු ගැන සමහරු බොරු බිල්ලන් මවනවා. මේක ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි. මේක සම්මත වෙන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ඕන. තුනෙන් දෙක ගන්න පුළුවන් ප්‍රධාන පක්ෂ දෙක එකඟ වුණොත් පමණයි. ඒ නිසා කවුරුවත් බය වෙන්න ඕන නැහැ.

ප්‍රශ්නය:- මහනායක හිමිවරැ ඇතුළු මහ සංඝරත්නය පවා මෙයට විරැද්ධ වෙන්නේ යම් රහසක් මේ තුළ තිබෙන නිසා නොවේද?

පිළිතුර:- අපි ගිහින් මහනායක හිමිවරු හමුවුණා. වැරැදි චිත්‍රයක් මහා සංඝරත්නයට දී තිබෙනවා. ව්‍යවස්ථා යෝජනාවලිය මහනායක හිමිවරුන්ට දුන්නා. රටේ ඒකීය භාවය ආරක්ෂා කර තිබෙනවා. ෆෙඩරල් ක්‍රමයක් ගැන වචනයක්වත් නැහැ. බුද්ධාගමට ඇති ප්‍රමුඛත්වය නැති කරන බව කියා නැහැ. මේ ව්‍යවස්ථාවෙන් සියල්ල ආරක්ෂා වෙනවා. යම් කෙනකුට යම් යම් ප්‍රශ්න තිබෙනව නම් ඒවා පෙන්නන්න. විරුද්ධ වෙන්න පුළුවන්. 

ප්‍රශ්නය:- පළාත්වලට දෙන අසීමිත බලතල, අවශ්‍ය නම් පළාත් දෙකකට එකතුවීමේ ඉඩ පවා මේ යෝජනා  වල අඩංගු නැතිද?

පිළිතුර:- නැහැ පළාත් දෙකකට කැමැති නම් එක්වීමේ අවස්ථාව 13 වැනි සංශෝධනයෙන් පවා ලබාදී තිබෙනවා. නව යෝජනාවල අලුත් දෙයක් නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. රටේ ඒකීය භාවය ආරක්ෂා වෙනවා. ඉඩම් බලතල සියල්ල අයිති ජාතික ඉඩම් කොමිසමටයි. පොලිස් බලතල සියල්ල අයිති ජාතික පොලිස් කොමිසමටයි. පොලිසිය සම්පූර්ණයෙන් මෙහෙය වන්නේ පොලිස්පතිවරයා. ඒ නිසා බිල්ලන් මවාගන්න ඕන නැහැ.

ප්‍රශ්නය:- කඩිමුඩියේ මේ යෝජනා ගෙන එන්නේ දෙමළ සන්ධානයේ අවශ්‍යතා ඉටුකිරීමට බවට නැගෙන චෝදනාවට දෙන පිළිතුර මොකද්ද?

පිළිතුර:- කඩිමුඩියේ නෙමෙයිනේ. පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස් කරන්න තීරණය කරලා ගොඩක්කල්, මේක අද ඊයේ ආපු එකක් නෙමෙයි. මේ යෝජනා ඉදිරිපත් කරන්න එ.ජා.පයට කොන්දක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡාකර සුදුසු තීන්දුවක් ගන්න පුළුවන්. පළාත් සභා හතක බලය තිබෙන්නේ සන්ධානයට. ඒ මහ ඇමැතිවරුන් මේ බලය ඉල්ලනවා.

ප්‍රශ්නය:- පෙබරවාරි මාසයේ ව්‍යවස්ථාව සම්මත කරන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන්නේ නිකම්මද?

පිළිතුර:- ඒක නම් එයාගෙන් අහන්න ඕන. කොහොමත් මේක කරන්න බැහැ. මේක යෝජනාවලියක් විතරයි. පෙබරවාරි වෙන කොට කරන්න පුළුවන් කියා මම නම් සිතන්නේ නැහැ.

ප්‍රශ්නය:- අයවැයට සහාය ගන්න දෙමළ සන්ධානයට මෙවන් පොරොන්දුවක් දී නැතිද?

පිළිතුර:- අයවැය ඉලක්ක කර අපි කිසි දෙයක් කරන්නේ නැහැ. හැබැයි උතුරු නැගෙනහිර සංවර්ධනයට අවශ්‍ය උදව් දෙන බව දෙමළ සන්ධානයට කියා තිබෙනවා. අපේ ආණ්ඩුව ඒ කටයුත්ත කරනවා. උතුරු නැගෙනහිර සංවර්ධනයට අවශ්‍ය මුදල් දෙනවා.

ප්‍රශ්නය:- ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද එ.ජා.ප යට ගන්න ව්‍යවස්ථා ටොපිය දෙන්නද හදන්නේ?

පිළිතුර:- අපි මේ ටොපිය දුන්නත් නැතත් එ.ජා.ප අපේක්ෂකයාට දෙමළ ජනතාව හැමද‌ාම ඡන්දය දුන්නා. මෛත්‍රී මහත්තයත් අපේ පොදු අපේක්ෂකය වූ නිසා ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද එතුමට ලැබුණා. එ.ජා.ප ය කියන්නේ සියලු ජාතීන්ට ඉන්න පුළුවන් පක්ෂයක් ශ්‍රී.ල.නි.පය ජාතිවාදී පක්ෂයක්.

ප්‍රශ්නය:- එ.ජා.පයේ මීළඟ ජනපති අපේක්ෂකයා කවුද?

පිළිතුර:- සුදුසු වෙලාවට සුදුසුම අපේක්ෂකයා තීරණය කරනවා. පිටින් අපේක්ෂකයන් ගේනවට අපි කැමැති නැහැ. ගෙනත් කරගත් හරියත් ඇති. වෙලාවට අපි තීන්දුව ගන්නවා.