පාස්කු ඉරිදා ප්‍රහාරය, එවැන්නක් සිදුවූයේ ඇයි? විපක්‍ෂයට එල්ලවන චෝදනා යනාදිය සම්බන්ධයෙන් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසුමකි මේ.

ප්‍රශ්නය:- දස වසරක් රටේ තිබූ සාමය තුරන්වී රට ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් වුණා නේද?

පිළිතුර:- එහි සම්පූර්ණ විත්තිකරු ආණ්ඩුවයි. මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේදී ජාතික ආරක්‍ෂාව කියන්නේ කිසිදු වැදගත්කමක් නැති මාතෘකාවක්. ඒ නිසා ගෙවුණු වසර හතර හමාරක කාලයේදී ඔවුන් ජාතික ආරක්‍ෂාව ගැන තැකීමක් කළේ නැහැ. අද ඍජුවම භුක්ති විඳින්න සිදුව තිබෙන්නේ එහි ප්‍රතිඵලයි.

ප්‍රශ්නය:- එවැනි චෝදනාවක් ආණ්ඩුවට එල්ල කරන්නේ කුමන පදනමකින්ද? ගෙවුණු කාලයේ රට ආරක්ෂිතව පැවැතියා නේද?

පිළිතුර:- හොඳම උදාහරණය පාස්කු ඉරිදා ප්‍රහාරයයි. අයි.එස්. ත්‍රස්තවාදය ලංකාවේ හිස ඔසවන බව 2015 සිට පෙනෙන්නට තිබුණා. පළමු ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තවාදියා වූ අබුසිලානි නමින් හැඳින්වූ පුද්ගලයා සිරියාවේ සංග්‍රාම භූමියේ මියගියා. සංග්‍රාම භූමියේ මියගිය අපට වාර්තා වූ පළමු පුද්ගලයා ඔහුයි. ඒ මරණය වාර්තා වූ අවස්ථාවේ පටන් අපේ සන්නද්ධ සේවා, බුද්ධි සේවා යම් යම් හැදෑරීම් කළා. ජාතික ආරක්‍ෂක මණ්ඩලයේදී 47 වතාවක් සාකච්ඡා කර තිබෙනවා. එහෙත් ආණ්ඩුව බුද්ධි සේවා, බුද්ධි තොරතුරු මායිම් කළේ නෑ. බුද්ධි සේවාවල ප්‍රධාන චරිත දඩයම් කළා. ඔවුන්ට අප්‍රියජනක ස්ථානයක් බවට බුද්ධි සේවාව පත් කළා. මේ ඛේදනීය තත්ත්වය නිර්මාණය වන්නේ මේ සියල්ලේ එකතුවක් හැටියටයි. පළමු ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තයා සිරියා යුදබිමේ මියගිය තැන් පටන් මතු වූ තත්ත්වය අධ්‍යයනය කළා නම් අවදියෙන් සිටියා නම් මෙවන් ඉරණමකට අපේ රට මුහුණ දෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සම්බන්ධ කණ්ඩායම් මර්දනයට රටේ පවතින නීති ප්‍රමාණවත් නොවන බවට තර්කයක් මතුවෙනවා. ඒ සම්බන්ධ අදහස මොකක්ද?

පිළිතුර:- ඔය තර්කය ගේන්නේ අගමැතිවරයායි. එය මේ ශතවර්ෂයේ ඕනෑම රටක දේශපාලනඥයකු කළ අනුවණම ප්‍රකාශයයි. වගකීම් විරහිත ප්‍රකාශයයි. තිස් අවුරුදු යුද්ධයක් මර්දනයට අවශ්‍ය සියලුම නීති රීති සම්පාදනය වී තිබියදී ඒ ආණ්ඩුවේම අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදීත් අනතුරු අඟවා තිබියදී විදේශ තානාපතිවරු ලිඛිතව මේ තත්ත්වය ගැන අනතුරු අඟවා තිබියදී විදේශ ඔත්තු සේවා කරුණු සහිතව ආණ්ඩුවට මේ පසුබිම පැහැදිලි කර දී තිබියදී මෙවැන්නක් වුණේ කොහොමද? ආණ්ඩුව මේවා සම්බන්ධව සංවේදී වුණේ නැහැ. එහෙම වුණේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේදී ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛ කාරණාවක් නොවූ නිසයි. 
කටුවපිටිය පල්ලියේ බෝම්බය පිපිරුණු අවස්ථාවේ පල්ලිය ඇතුළේ සිටි මිනිස්සු මරහඬ දීගෙන එළියට දිව්වා. එහෙත් පල්ලියේ  එළියේ සිටි බල්ලකු බුරාගෙන පල්ලිය ඇතුළට දිවයන දර්ශනයක් සැවොම දුටුවා. තමන් දන්න කියන අයට මොකක් හෝ කරදරයක් කියන සංවේදීකම නිසා තමන් දන්න අය සොයාගෙන ඒ බල්ලා එහෙම දිව්වා. මේ බල්ලා තරම්වත් ආණ්ඩුව සංවේදී වුණා නම් මේ මහ විනාශය වළක්වා ගන්න තිබුණා. 

ප්‍රශ්නය:- බුද්ධි අංශ දුර්වල කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවට ඔබලා චෝදනා කරනවා. වැරැදි කළ අයට දඬුවම් දීම පමණක් කළ බවට ආණ්ඩුව දෙන පිළිතුර ගැන කියන්නේ කුමක්ද?

පිළිතුර:- බුද්ධි අංශ නිලධාරීන්ට දඬුවම් දී තිබෙන්නේ කොහේද? විවිධ චෝදනා කර ඔවුන් අත්අඩංගුවට ගත්තා. එහෙම ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. ඒ නිසා ඔවුන්ට ඇප දීමට අධිකරණයට නොහැකි වුණා. සමහර නිලධාරීන්ට චෝදනා ගොනු කිරීමක්වත් කර නැහැ. එල්.ටී.ටී.ඊය විනාශ කිරීමට ලොකුම කැප කිරීමක් කළ දමිළ භාෂාව කතා කළ හැකි නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. මේ කිසිවකුටත් අද දක්වා නඩු පවරා නැහැ. එල්.ටී.ටී.ඊ. කොන්ද කඩපු බුද්ධි අංශ නිලධාරීන් වසරකට වැඩි කාලයක් සිරභාරයේ තැබුවා. අන්තිමට නඩු නෑ. චෝදනා නෑ. හමුදාවේ වෙන වෙන අංශවල රැකියාවේ යොදවලා.

ප්‍රශ්නය:- එසේ නොවුණා නම් මේ මුස්ලිම් අන්තවාදය පිටුදකින්න තිබුණා කියලා ද ඔබ කියන්නේ?

පිළිතුර:- අයි.එස්. ත්‍රස්තවාදීන් හොඳ දඩබිමක් හැටියට ලංකාව තෝරා ගන්න ඇති. ලංකාවෙ දේශපාලනඥයන් විහිළු කරනවා. ඇමෙරිකන් බුද්ධි සේවා මේ පිළිබඳ අනතුරු අඟවා තිබූ බව තව ඇමැතිවරයකු ප්‍රකාශ කළා. එය බොරුවක් බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මාධ්‍යයට කිව්වා. මේ ආකාරයට දකින්නට ලැබෙන්නේ වගකීම් විරහිත හැසිරීමක්. ලෝකයම අනතුරු අඟවද්දී ඇස් පනාපිටම මේවා පේන්න තිබියදීත් ත්‍රස්තවාදීන් දඩයම් කරනවා වෙනුවට ත්‍රස්තවාදීන් මර්දනය කළ මිනිසුන් දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කළා. මේ සියල්ල රිංගා තිබෙන්නේ ඒ හිඩැසෙන්. බුද්ධි අංශ නිලධාරීන් වසරකට වැඩි කලක් අත්අඩංගුවේ තබාගන්න හැකියාව ඇති ආණ්ඩුවට මේ ත්‍රස්තයන් සම්බන්ධව කටයුතු කරන්න තිබූ බාධාව මොකක්ද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙන්න මේ හේතුව නිසා කටයුතු කරන්න බැහැ කියා ආණ්ඩුව රටට කියන්න ඕන.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඕස්ටේ්‍රලියාව දක්වා මුහුදු කලාපයට ගොස් එල්.ටී.ටී.ඊ. යුද නැව් අටක් අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ නාවික හමුදාවක් අපේ රටේ ඉන්නවා. මැලේසියාවට ගොස් එල්.ටී.ටී.ඊ. නායකයකු කුදලා ගෙන ඒමට අපේ ආරක්‍ෂක අංශවලට හැකි වුණා. මේවා වුණේ වැඩි ඈතකදී නෙමෙයි. මේ සියල්ල තිබියදී විහිළු කතා කියන්න හොඳ නැහැ.

ප්‍රශ්නය:- එහෙම නම් මෙවර වැරැදුණේ කොතැනදීද?

පිළිතුර:- රටක දේශපාලන, ආර්ථික ස්ථාවරභාවය ගොඩ නැඟෙන්නේ ආරක්‍ෂාව සහතික වූ පසුවයි. රාජපක්‍ෂ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේදී ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛම කාරණය වුණා. 2007, 2008 වනවිට ලංකාවේ තිබූ තත්ත්වය සැමට මතකයි. සෑම අංශයකම පාහේ පසුගාමීත්වයක් තිබුණා. ඒ සියල්ලට උත්තරේ වුණේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීමයි. ඒ අනුව සංචාරක කර්මාන්තය දියුණු වුණා. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය යථාවත් වුණා. ජනතාවගේ බිය සැක නැති වුණා. දේශපාලන ස්ථාවරත්වය ඇති වුණා. රටේ ආර්ථිකය වේගයෙන් පිබිදෙන්න පටන් ගත්තා. එනිසා රටක ස්ථාවරත්වය ගොඩ නැඟෙන්නේ ආරක්‍ෂාව සහතික වීමෙන් පසුවයි. අංක එක එයයි. ඒ අංක එකේ වගකීම ඉවතදැමීම හෝ ප්‍රතික්ෂේප කිරීම මත මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණ දීමට රටට සිදුව තිබෙනවා.

ප්‍රශ්නය:- පසුගිය කාලයේ ආර්ථිකයේ සුබවාදී තත්ත්වයක් නිර්මාණය වුණේ ජාතික ආරක්‍ෂාව තහවුරුව තිබූ නිසා නොවේද?

පිළිතුර:- ඒ සුබවාදී දේවල් මොනවද කියා මම ඔබෙන් ප්‍රශ්න කරනවා. රටක ආර්ථිකය මනින දර්ශක රාශියක් තිබෙනවා. උද්ධමනය, ඒකපුද්ගල ආදායම, විරැකියාව, විනිමය අනුපාත, විදේශ සංචිත, පොලී අනුපාත, දළ ජාතික නිෂ්පාදිතය, වර්ධන වේගය යනාදී දර්ශක රාශියක් පෙන්වා දෙන්න පුළුවන්. ගිය වසර හතරෙදි මේ දර්ශක අතරින් අපි ඉහළට ගියේ කුමකින්ද? මේ සියලුම දර්ශකවලින් පසුගිය වසර හතර හමාරෙදි පහළට යන ආර්ථිකයක් තහවුරු කර තිබෙනවා. මහ බැංකුව කියන්නේ දේශපාලන පක්‍ෂයක ආයතනයක් නෙමෙයි. එහි සංඛ්‍යාලේඛන අරගෙන සසඳා බලන්න.

ප්‍රශ්නය:- මේ ත්‍රස්තවාදය අද ඊයේ ඇති වූවක් නොව අවමයෙන් මීට වසර දහයකට පෙර සිට ආරම්භ වූවක් බවට අදහසක් තිබෙනවා. එහෙම නම් මෙය තුරන් කිරීමට එදා පියවර නොගැනීම ගැන ඔබලාටත් යම් වරදක් පැටවෙනවා නේද?

පිළිතුර:- එල්.ටී.ටී.ඊ. විනාශ  කිරීමෙන් පසුව මෙවන් ත්‍රස්තවාදයක් හෝ අන්තවාදයක් මතු වුණේ නැහැ. එවැනි උත්සාහයක් තිබෙන්න ඇති. විදේශ අන්තවාදී බලවේග රටට ඇතුළුවීම පිළිබඳව 2010 දී ඉඟියක් ලද විගස එවක ආරක්‍ෂක ලේකම්වරයා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලේ විශේෂ බුද්ධි ඒකකයක් පිහිටෙව්වා. ආගමන විගමන බුද්ධි නිරීක්‍ෂණ අංශය ලෙස එය හැඳින්වූවා. රටට ඇතුළුවන විදේශිකයන්ගේ හැසිරීම අධ්‍යයනය එම අංශයෙන් සිදුවූවා. මේ නිරීක්‍ෂණ අංශයෙන් ලැබුණු දත්ත පදනම් කරගෙන වසර තුනකට පසු ලංකාවෙන් තුන්දහසක් පමණ පිටුවහල් කළා. අරාබි භාෂාව උගැන්වීමට, වහබ්වාදය උගන්වන්නට කියමින් ගුරුවරු නාමයෙන් ලංකාවට පැමිණි 162ක් සිටියා. මේ සියලු දෙනා එදා පිටුවහල් කළා. එදා යම් ව්‍යුහයක් තිබුණා. 2015 පටන් මේ සියලු ඒකක අකර්මණ්‍ය වූවා. අන්තවාදී කණ්ඩායම්වලට අයත් විදේශිකයන් 800ක් පමණ ලංකාවට පැමිණ සිටින බව චම්පික ඇමැතිවරයා කියනවා.

තුර්කි තානාපතිතුමා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පාස්පෝට් අංක සමඟ ඔවුන් සිටින ස්ථාන සමඟ තුර්කියේ ප්‍රධාන පෙළේ ත්‍රස්ත සංවිධානයක 60 දෙනකු ලංකාවේ සිටින බව ලිඛිතව ලබාදී තිබුණා. අපි කියන කතා පැත්තකින් තැබුවත් මේවා සම්බන්ධ පියවර නොගත්තේ ඇයි? තුර්කි තානාපතිවරයා මේ තොරතුරු දී තිබෙන්නේ 2017 දී. ආණ්ඩුව නිහඬ වුණේ ඇයි? මොවුන් සිටින්නේ කොහේද කියා ආණ්ඩුව දන්නේ නැහැ. ඒ ඒවා සොයන්න ආණ්ඩුවට වුවමනාවක් නොතිබූ නිසයි. ආණ්ඩුව කළේ රාජපක්‍ෂ මුව හමට තඩිබාමින් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමයි.

දැන් රටේ ආණ්ඩුවක් නෑ. ආණ්ඩුවට නායකයන් දෙදෙනකු සිටිනවා. ඔවුන්ට න්‍යාය පත්‍ර දෙකක් තිබෙනවා. හැබැයි තිබෙන්නේ එක රටයි. රටේ බරපතළ ප්‍රශ්නය ත්‍රස්තවාදය නෙමෙයි. ආණ්ඩුවේ මේ විසංවාදයයි. මෙවන් බලවේග මර්දනයට බාධාවක් තිබෙන්නේ මේ විසංවාදයයි. රට වෙනුවෙන් එකට නැගිටිය හැකි ආණ්ඩුවක් තිබිය යුතුයි.

ප්‍රශ්නය:- රටේ ප්‍රශ්න පසෙක තබා ආණ්ඩුව දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරනවා කියලද කියන්නේ? 

පිළිතුර:- ආණ්ඩුවට ඔළු දෙකක් තිබෙනවා. නායකයන් දෙදෙනකු සිටිනවා. මේ දෙන්නා යන්නේ පාරවල් දෙකක. මේ දෙන්නට ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. තිබෙන්නේ එක රටක් බව මේ දෙන්නටම අමතක වෙලා. ආරක්ෂාවට, ආර්ථිකයට සම්බන්ධ සියලු ප්‍රශ්නවලට මුල් වී තිබෙන්නේ මේ විසංවාදයයි. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට 2014 දී එකමුතුකමක් තිබුණත් ඒ ඇරෙන්න වෙන කිසිම කරුණකට එකඟත්වයක් නැහැ. අද පේන්න තිබෙන්නේ ඒ අර්බුදය නෙමෙයිද?

දැන් රටට මර බිය දැනිලා. ආයෙම වතාවක් මේ මර බිය කැන්දගෙන ආවේ කවුද? ජනතාවට කිසි විශ්වාසයක් නැහැ. අප්‍රේල් 21 මහා ඛේදවාචකයක් වීම කනගාටුදායක වුවත් ඒ සමඟ සතුටු වෙන්න කාරණාවක් තිබෙන බව එක ඇමැතිවරයෙකු ප්‍රකාශ කළා. මේ නිසා ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 480ක් ලැබී ඇති බව ඔහු කිව්වා. ආණ්ඩුවේ දේශපාලකයන්ට තිබෙන දර්ශනය තමයි මේ. ප්‍රශ්නයක් නෑ. රුපියල් ලක්ෂයකට පාසල් සිසුන් රක්ෂණය කර ඇති බව ආණ්ඩුව කියනවා. මෙන්න ආණ්ඩුව ප්‍රශ්න දිහා බලන විදිය. 

ප්‍රශ්නය:- විදේශ අන්තවාදය රටට ඇතුළුවීම පාලනයට එදා බුද්ධි අංශ පිහිටු වූ බව ඔබ කිව්වත් අන්තවාදී සංවිධාන පෝෂණය කළ බවට, ඔවුන්ට වැටුප් ගෙවූ බවට හිටපු ආරක්ෂක ලේකම්ට චෝදනාවක් එල්ල වෙනවා නේද? 

පිළිතුර:- ඔය චෝදනාව එන්නේ කවදා ඉඳන්ද? 2015 ජනවාරි 10 වැනිදා පටන් හිටපු ආරක්ෂක ලේකම්ට ඔය චෝදනා නඟනවා. බලය නොදී ඉන්න කුමන්ත්‍රණය කළ බව කිව්වා. ෂැංග්‍රිලා හෝටලය ඉදිකිරීමට ඉඩම විකුණා ගත් මුදල් ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ගිණුමක තැන්පත් කළ බව කිව්වා. මෙහෙම බොරු කීයක් කිව්වද? උතුරෙන් මතු වූ ‘ආවා’ කල්ලිය ගෝඨාභයගේ කල්ලියක් බව කිව්වා. බොරු කියන්න මේ ආණ්ඩුවට ලැජ්ජාවක් නැහැ. සෑම දෙයකටම බොහොම සරලව සුලභව ගෝඨාභය රාජපක්ෂ නම කියන්න පටන්ගෙන තිබෙනවා. 

ප්‍රශ්නය:- අන්තවාදය උගැන්වීමේ විශ්වවිද්‍යාල, විද්‍යායතන ආරම්භ කිරීම ගැන ඔබටත් චෝදනාවක් තිබෙනවා නේද? 

පිළිතුර:- අමාත්‍යාංශ විෂය පථයන් ගැන කිසිදු අවබෝධයක් නැති අය ඒ වගේ චෝදනා කරනවා. වෘත්තීය පුහුණු හා යෞවන කටයුතු ඇමැති වශයෙන් මම කටයුතු කළා. ඒ අමාත්‍යාංශ විෂය ඇතුළේ ආගමක් උගන්වන්න විශ්වවිද්‍යාලයක් අරඹන්න අවසර දෙන්න හැකියාවක් තිබෙනවාද? 

මේ ආණ්ඩුව කොයි තරම් බංකොලොත් වෙලාද කියා මේ අභූත චෝදනාවලින් පැහැදිලි වෙනවා. 
2013 දී වෘත්තීය පුහුණු පාඨමාලා තුනක් ආරම්භ කිරීමට අපි රට පුරා එන්.වී.කිව්. පාඨමාලා සකසා මේ ක්ෂේත්‍රයේ ලොකු නැම්මක් ඇති කර ගත්තා. කාත්තන්කුඩි ප්‍රදේශයේ වෘත්තීය පුහුණු පාඨමාලා තුනක් වෙනුවෙන් ගොඩ නැගූ විශ්වවිද්‍යාල විද්‍යායතනය ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඡායාරූප මේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකයා රටට පෙන්නුවේ ශරියා විශ්වවිද්‍යාලයට ගිවිසුම් අත්සන් කිරීම කියලයි. මේක මේ දේශපාලකයන්ගේ වර්ණ දේහවල ජානමය ප්‍රශ්නයක්. ඔය කියන විශ්වවිද්‍යාලය අපට අදාළ නෑ. අපි කළේ වෘත්තීය පුහුණු පාඨමාලා තුනක් සමග විද්‍යායතනයක් ඇරැඹීම පමණයි. පුනානිවල විශ්වවිද්‍යාලයක් හදන්න අපි එදා අවසර දී නැහැ. අවසර දෙන්න මැදිහත් වෙලත් නැහැ. එහෙම හැකියාවකුත් නැහැ. අක්කර 35ක භූමියක පුනානි ප්‍රදේශයේ ඉදිකරන ඔය විශ්වවිද්‍යාලයට ආයෝජන මණ්ඩලය අනුමැතිය දී තිබෙන්නේ 2016 මැයි 19 වැනිදා. එහි කළමනාකරණ කටයුතු අරඹන්නේ 2017 පෙබරවාරි 2 වැනිදා. මේ කාලයේ මේ රටේ ආණ්ඩු කළේ කවුද? ඒ නිසා මේවා හුදු අවලාද පමණයි. 

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය පදනම් කරගනිමින් රටේ ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවට චෝදනාවක් නැඟෙනවා. ඔබලා දෙසටත් මෙහිදී ඇඟිල්ල දිගු වෙනවා නේද? 

පිළිතුර:- මේ විනාශය හමුවේ ජාතිවාදී ගිනිදැල්ලක් ඇති නොවන්නට පළමු ගෞරවය කාදිනල්තුමාට ලබා දෙන්න ඕන. දේශපාලන පක්ෂයක් හැටියට පසුගිය කාලයේ අපි මොන තරම් කැපකිරීමක් කළාද? ජනපතිවත් අගමැතිවත් නොකළ කැපකිරීමක් අපි කළා. තිස් අවුරුදු යුද්ධයක් නිමා කළ හමුදා නිලධාරින්, හිටපු ත්‍රිවිධ හමුදා ත්‍රිවිධ හමුදාපතිවරු එකතු කර මේ පිළිබඳ අධ්‍යනය කර වාර්තාවක් සාදා ජනපතිට පිළිගැන්වූවා. අපේ සහාය කොන්දේසි විරහිතව දෙන බව ප්‍රසිද්ධියේ කිව්වා. විපක්‍ෂයක් මෙම කටයුතු කළ ඉතිහාසයක් තිබෙනවාද? එදා වික්‍රමසිංහ මහත්මයගෙ නායකත්වය යටතේ විපක්‍ෂය කටයුතු කළේ කොහොමද? කොටි ගුවන් යානාවලින් පහර දෙනවිට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවි නෑ කියා ආයුධ ගන්න ගියාම එදා විපක්‍ෂය කළේ කුමක්ද? ලංකාවට ණය දෙන්න එපා කියා ්‍යීඊක්‍  බැංකුව ඉදිරිපිට ඔය විපක්‍ෂයේ සියලු නායකයන් උද්ඝෝෂණය කළා. එදා හැසිරුණේ වගකීම් විරහිතවයි. අපි මේ මොහොතේ බොහොම වගකීමෙන් කටයුතු කරනවා.

වවුනතිව්වල පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළා. ඒවාට යොදාගත් ආයුධත් සමන්තුරෙන් හසුවුණා. ඊට පැය 24ට කලින් මේ ඝාතනය පිටුපස ගෝඨාභය සිටින බව ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ප්‍රකාශ කළා. සෑම දෙයකම වගකීම ගෝඨාභයට පවරන්න හදනවා. ඇත්තටම ලැජ්ජයි.

ප්‍රශ්නය:- අහිංසකයන්ගේ මිනී මතින් දේශපාලනය කරන්න විපක්‍ෂයේ අය උත්සාහ කරන බවට චෝදනාවක් එල්ල වෙනවා නේද?

පිළිතුර:- මුළු රටේම දැඩි විරෝධයක් මේ ආණ්ඩුවට එල්ල වෙලා. දේශපාලන භේදයකින් තොරව සියලු දෙනා ආණ්ඩුවට එරෙහියි. රටම වික්‍ෂිප්ත වෙලා. උතුරෙන් හමුදාව එලවන්න කියා කෑ මොර දුන් උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් දැඩි හමුදා විරෝධීන් පළමු වතාවට හමුදාව ඉවත් කරන්න එපා කියා බැගෑපත් වෙනවා. ඒ ඇයි? අනාරක්‍ෂිත බවේ හැඟීම නිසයි. මවුපියන් පාසල්වල පිරෙනවා. දරුවන් පාසල් යවන්න බියෙන් මවුපියන් පසුවෙනවා. පාසල් නිවාඩු තව දිගු කරන්න කියා අස්ගිරි, මල්වතු මහ නා හිමිවරු කියනවා. අද මුළු රටම ඉන්නේ මර බියෙන්. ඒ සෑම කෙනකුගේම ඇඟිල්ල දිගු වන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවේ නොසැලකිල්ලෙන් මේ විනාශය වූ බව ප්‍රසිද්ධ කරුණක්. බුද්ධි සේවා දඩයම් කළ නිසා මේ විපත වූ බව ජනාධිපතිතුමාම කියනවා. එහෙම කියනවිට රාජ්‍ය නායකයාට එරෙහිව ඇමැතිවරු කැලෑපත්තර ගහනවා. එනිසා මේ චෝදනා අවලාදවලින් ආණ්ඩුව බලන්නේ තමන්ගේ වැරැදි වසාගන්නයි. ඕනෑම අසමත්, අසාර්ථක ආණ්ඩුවක් හැසිරෙන ආකාරයට තමයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ. ආණ්ඩුව තම අවසාන පරිච්ඡේදය ලියමින් යනවා. එවන් ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගියේ මේ ආණ්ඩුවයි.

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ