සාමාන්‍යයෙන් ලෝකයේ එක් පොදු සිද්ධාන්තයක් වන්නේ ඕනෑම රාජ්‍ය නායකයකු, දේශපාලනඥයකු, ධනවතකු වැනි යම් ප්‍රබල පුද්ගල චරිතයක් පිටුපස ඔහුට ඉතාමත් විශ්වසනීය එමෙන්ම තම ජීවිතයේ සිතුම් පැතුම් හා ආකල්ප සමග බද්ධ වූ ගෝලයකු නැතහොත් බඩියකු සිටීමය. සමහරවිට එම බඩියා හෝ ගෝලයා අදාළ ප්‍රභූ පුද්ගල චරිතයේ බිරිඳ හා දරුවන් සමග පවත්වන විශ්වසනීය සබඳතාව ද එවැනි ම ඉහළ මට්ටමක සබඳතාවක් විය හැකි ය. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇසුරේ සිටි මොහිදීන් ද එවැනි ම විශ්වසනීය බඩියකු බව වික්ටර් අයිවන් මහතාගෙන් මම අසා දැනගතිමි. මොහිදීන් පිළිබඳ සැලකීමේ දී ඔහු ද, සජිත්, නෙවිල් හා තිස්ස මෙන්ම තීරණාත්මක රාජ්‍ය බලයක් භුක්තිවිඳි අයෙකි. බොහෝ විට එකල ඇමැතිවරු තම දුක්ගැනවිලි කීවේ ද මොහිදින් මුණගැසී ය. 


ඒ අනුව මොහිදීන්ට යම් ආකාරයකින් අදාළ ඇමැතිවරයා “ගොඩදැමිය යුතු යැයි” යන සිතිවිල්ලක් සිතට නැඟුණහොත් ඔහු ප්‍රේමදාස ජනාධිපතිතුමා ලවා එම කාර්යය කෙසේ හෝ ඉටු කරයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා අභිමුව මොහිදීන් විඳි ඒ අසීමිත තීරණාත්මක බලය හොඳින් අධ්‍යයනය කළ ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් අවසානයේ දී සියදිවි නගාගැනීමට අදාළ බෝම්බකරු ද යොමු කළේ මොහිදීන් වෙතට ය. එහෙත් එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ළඟ සිටි බඩියා හෙවත් මොහිදීන් හා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ළඟ සිටි මොහිදීන්ලා අතර කැපී පෙනෙන වෙනසක් ඇත. එනම්, ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහු සමඟ සිටි මොහිදීන් රාජ්‍ය පාලනයට හෝ දේශපාලන තීරණ ගැනීමේ තීරණාත්මක සාකච්ඡා මේසවලට ප්‍රසිද්ධියේ කැඳෙව්වේ නැත. ඒ මොහිදීන් සියල්ල කළේ සුචරිත මන්දිරය තුළ සිට ය. ඉන් පිටතට ඔහුට පැමිණීම තහනම් ය. 


එහෙත් එම දෘෂ්ටිකෝණයෙන් බලන කල මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සිදු කළ මූලික ම වරද නම් ඔහු සමඟ සිටි බඩියලා හෙවත් මොහිදීන්ලා තමාගේ රාජ්‍ය පාලනයේ දී හා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී පවා ප්‍රසිද්ධියේ ම තමා සතු තීරණාත්මක රාජ්‍ය බලයෙන් කොටසක් ඔවුන් වෙත පවරාදීමය. ඒ අනුව ඔවුහූ අරලියගහ මැදුරෙන් පිටතට පැමිණ රාජ්‍යයේ සියලු දේ හසුරුවන උප ජනාධිපතිවරු ලෙස රට ඉදිරියේ පෙනී සිටියහ. එය ලෝකයේ වෙනත් රාජ්‍ය නායකයන් තම බඩියන් හසුරුවන පිළිගත් ක්‍රමවේදය නොවේ. 


ජනවාරි 9 වැනිදා අලුයම වන විට ගොඩනැගෙන නව දේශපාලන සන්දර්භය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් දේශපාලන ගමන් මගේ අලුත්ම අත්දැකීමකි. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත්ව වේගයෙන් ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් සිටින පාලනයක් සමාජයේ අවම දේශපාලන බලය යොදා නිවැරැදි කළ අවස්ථාවකි ඒ. එහිදී ලේ බිඳුවක් නොසෙල්වුණා පමණක් නොව කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර, වෙඩි ප්‍රහාර සියල්ලම නිහඬව තිබිය දී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි සමාජයට එය පූර්ණ වශයෙන් ලැබුණු අවස්ථාවකි. සැබවින් ම ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්වන ආණ්ඩුවක් අවම දේශපාලන බලය යොදවා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් තුළ ම සිට ප්‍රජාතන්ත්‍ර විරෝධී එම දේශපාලන බලවේගයට ගෞරවාන්විත සමුගැන්මක් ලබාදුන් සිදුවීමකි. සැබවින් ම ජනවාරි 8 පිළිබඳ යම් නිශ්චිත නිර්වචනයක් සැපයීම සංකීර්ණ වන්නේ මෙවන් වූ සන්දර්භයක ද එම සිදුවීම විග්‍රහ කළ හැකි නිසාවෙනි. 


2015 උදාවත් සමඟම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මෙම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අරගලය එම වසරේ ලෝක පරිමාණයෙන් සිදුවූ වැදගත් ම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් ලෙසට ද සැලකිය හැකිය. ලෝක දේශපාලන සිතියමෙහි දෙසියකට ආසන්න සෑම රටකම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ රූපරාමු නිර්මාණයවීමත් පුවත්පත් පිටු පිරීයාමත් ජනවාරි 9 සිට ඉදිරියට දින ගණනක් පුරා සිදුවිය. ඒ අනුව 2009 මැයි 19 වැනිදා ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම පිළිබඳ මොඩලය ලෝකයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව 2015 ජනවාරි 08 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිළිබඳ පරමාදර්ශී ශ්‍රී ලාංකේය මොඩලය ද ඉදිරිපත් කළේය. මෙම මොඩල දෙක තුළම ඇති මහා පොදු සාධකය මහින්ද රාජපක්‍ෂ ය. මෙම මහා පොදු සාධකය නිවැරැදිව තේරුම් ගත් විට මැයි 19 හා ජනවාරි 8 අතර ඇති අවියෝජනීය සබඳතාව ද පැහැදිලි වෙයි. එනම්, මීට පෙර ද දක්වා ඇති පරිදි ජනවාරි 9 “මහින්ද ඛේදවාචකය” නිර්මාණය වන්නේ ජනවාරි 8 වැනිදා ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල තුළින් පමණක් ම නොව ඊට පෙර මැයි 19 යුද ජයග්‍රහණය තුළින් බවට ද නව තර්කයක් දැන් ගොඩනැගිය හැකිය. ජනවාරි 9වැනිදා ඡන්දය පැරදුණු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දෙස බලා සිටින විට පෙනී ගියේ ඊට වසර 5කට පෙර මැයි 19 වැනිදා මේ රටේ ජනතාව, දියසෙන් කුමරු, දුටුගැමුණු හා මහ රජාණෝ යනුවෙන් ප්‍රශස්ති ගයමින් එතුමාට පලඳා ඇත්තේ කටු ඔටුන්නක් බවයි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය නැමති විශ්වීය සංකල්පය හමුවේ එතුමාට මේ රටේ ජනතාව පලඳා ඇත්තේ කටු ඔටුන්නකි. 


ලෝක ඉතිහාසයේ රජවරු බිහිවී ඇත්තේ ද, ඔවුන් රජකම්කර ඇත්තේ ද ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපාමිනි. රජකමත් ප්‍රජාතන්ත්‍රවාදයත් එකම රේඛාවේ ගමන් කරන්නේ නැත. නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රබල තැන රජා නාමික ය. රජා ප්‍රබල නම් ප්‍රජාතන්ත්‍රවාදය නාමික ය. මැයි 19 වැනිදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෙන්ම සිංහල බෞද්ධ සමාජයේ එතුමාට ආදරය කළ ජනතාව තේරුම් නොගත්තේ ද මෙම යථාර්ථය යි. මොහොතකට මෙම සංසිද්ධියේදී දමිළ හා මුස්ලිම් ජන විඥානය පසෙකින් තබමු. බහුතර සිංහල සමාජය ඉතිහාසයේ දිනක යම් ඓතිහාසික සංසිද්ධියක් අභිමුව අතිශය සතුටට හා අමන්දානන්දයට පත්වී ඉන් ප්‍රමුදිතව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයා අමතා ඔබ රජෙක් විය යුතු යැයි ආරාධනා කරයි. ඊට අනුබල දෙයි. නමුත් ඉන් ඉක්බිතිව වසර 5 කට පසුව පැරණි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය වඩා හොඳ යැයි ජනතාව සිතයි. එවිට තමන්ගේ අනුබලයෙන් රජවූ පාලකයාගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටී. ඒ තුළ පාලකයා හෙවත් රජා අර්බුදයකට යයි. තමන් දැන් රාජකීය වී හමාරය. දැන් නැවත ජනතාව ඉල්ලා සිටින ප්‍රජාතන්ත්‍රවාදය ලබාදුනහොත් තමන්ගේ රාජකීය බව අහිමි වෙයි. ඔහු මහත් උභතෝකෝටියකය.


මැයි 19 වැනිදා “ඔබ රජකු විය යුතු” යැයි මේ රටේ ජනතාව කියන විට එය කියූ ජනතාව ද, එය ඇසූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ද අමතක කළ කරුණක් ඇත. එනම්, මේ රටේ සම්ප්‍රදාය ප්‍රජාතන්තවාදී ය. අවුරුදු හයකට වරක් සමස්ත රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ගවල මෙන්ම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම්වල ඍජු ඡන්දය ප්‍රකාශ වන මොහොතේ එදිනට වලංගු සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හා තවත් එක් ඡන්දයක් ලබාගැනීමට අපොහොසත් වුවහොත් ජනාධිපති ධුරය ද, ඇඳගත් රජකම ද දමා ගෙදර යා යුතු බව මෙම දෙපාර්ශ්වයම එක ලෙස තේරුම් නොගත්ත හ.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.